Friday, May 3, 2024

General line - 0115112241

ඉන්ධන මිල වැඩි කිරීමෙන් ඩොලර් අර්බුදය උග්‍රවිය හැකි බවට අනතුරු ඇගවීමක්




විදේශ විනිමය අර්බුධය සමනය කර ගැනීමේ අරමුණින් ඉන්ධන මිල ඉහල දැමූ බව ආණ්ඩුව ප්‍රකාශ කළද එම තීරණය විදේශ විනිමය අර්බුදය තවත්  උග්‍ර වීමට හේතුවක් විය හැකි බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දෙන්නේ ඉන්ධන මිල ඉහල යාම හරහා නිෂ්පාදන මිල ඉහල යාම මෙරට අපනයන ක්ෂේත්‍රයටද අහිතකර ලෙස බලපෑ හැකි බවයි. 

පසුගිය නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය සියයට 11 දශම 1 දක්වා ඉහල ගොස් ඇති බව මහ බැංකුව පසුගියදා නිවේදනය කළා. ඒ, ඉකුත් ඔක්තොම්බර් මාසයේදී සියයට 8යි දශම 3ක්ව පැවති උද්ධමනයට සාපේක්ෂව සියයට 2යි දශම 8ක වර්ධණයක්. එලෙස මෙරට උද්දමනය ඉලක්කම් දෙකක අගයක් දක්වා ඉහල ගොස් ඇත්තේ 2008 වසරේ අගභාගයෙන් පසුවයි. උද්ධමනය එලෙස ඉහල යාමට වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ආහාර හා බලශක්ති මූලයන්වල මිල ඉහලයාම බව මහාචාර්ය ජනක් කුමාරසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා. 

පවතින විදේශ විනිමය අර්බුදය විසදා ගැනීමට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමග කටයුතු කිරීමට සූදානම් නොමැති තත්ත්වයක් තුළ මෙවැනි තීරණවලට එලඹීමට සිදුවන බවද ආර්ථික විද්‍යඥයින්ගේ අදහසයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංග දුණුසිංහ.