Friday, May 3, 2024

General line - 0115112241

අද මැදියම් රැයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සැරසෙයි




අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සාමාන්‍ය  දුම්රිය ප්‍රමාණය දෛනිකව ධාවනය කරන ලෙස ඉල්ලා සිටියද බලධාරීන් එය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි. ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පාර්සල් බාර ගැනීමේ රාජකාරි කටයුතුවලින් ද සිය සමාජිකයින් ඉවත් වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර අද සිට කොළඹ - කොටුව සහ බදුල්ල අතර හා හෙට දිනයේ සිට බදුල්ල හා කොළඹ- කොටුව අතර නව දුම්රිය ගමන්වාර 02 ක් ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. ඒ අනුව එම දුම්රිය කොළඹ - කොටුව සහ බදුල්ල අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කළ වේලාවට අනුරූපීව ී - 14 වර්ගයේ බලවේග කට්ටල භාවිත කරමින් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනය කර ඇත්තේ. 

ඒ අනුව එම එක් දුම්රියක් කොළඹ කොටුවෙන් රාත්‍රී 10 යි 30 ට පිටත්විමට නියමිත අතර බදුල්ලෙන් ආරම්භ වන දුම්රිය සවස 05 යි 50 ට පිටත්වීමට නියමිතව තිබෙනවා.