Friday, May 3, 2024

General line - 0115112241

විදෙස් සංචිත ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්




දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් මෙම වසර අවසාන වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 03 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ප්‍රධෘන විදේශ විනිමය ලැබීම් අතර මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමග අමෙරිකානු ඩොලර් බිලියන 02 ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

රජය විසින් ද්විපාර්ශවික මූල්‍යන පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම් මෙන්ම බහුපාර්ශවික සංවිධාන තුළින් ණය ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා. මීට අමතරව බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇති. 

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වාදී ඇති දිරිදීමනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්ථනය කිරීමේ අවශ්‍යතා වැනි විදේශ විනිමය වෙළඳපලේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම් මගින් නිල සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකියාව පවතිනවා. විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මෑතකාලීන වර්ධනයන් සහ සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයත් සමග ඉදිරි කාලය තුළ විදේශීය අංශය වඩා යහපත් තත්ත්යකට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

එමගින් වර්තමානයේ දක්නට ලැබෙන පීඩනයන් යම් දුරකට සමනය වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. මෙම අපේක්ෂිත විනිමය ගලා ඒම් සමග ලබන වසර පුරා නිල සංචිත තත්ත්ව හිතකර මට්ටමක පවතිනු  ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.