Saturday, April 27, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනයෙන් ක්ෂේත්‍ර රැසකට බලපෑම්




දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. 

එහිදී ද විසදුමක් නොළැබුනහොත් වර්ජනය තවදුරටත් දැඩි කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න පැවසුවේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි. 

ඒ හේතුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, පාර්සල් ප්‍රවාහනය, ඉන්ධන, තිරිගු පිටි හා සිමෙන්ති සඳහා වන හුණුගල් ප්‍රවාහනයද සිදුවන්නේ නැහැ. 

දුම්රියෙන් සිදුකරන ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල, සේවාවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ පස්වරුවේ සිට ඉවත් වීමත් සමග ඉන්ධන ප්‍රවාහනයටද එල්ල වී ඇත්තේ දැඩි බාධාවක්. 

සාමාන්‍යයෙන් සමස්ථ ඉන්ධන ප්‍රවාහනයෙන් සියයට 40ක් දුම්රියෙන් සම්පූර්ණයෙන් කෙරෙන අතර දුම්රිය මගින් දෛනිකව රැගෙන යන ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්‍ෂ 35 කට ආසන්නයි. ඉන්ධන ප්‍රවාහනයේ සියයට 60ක් සම්පූර්ණ කරන්නේ බවුසර් මගින්. 

ඒ අනුව දෛනිකව ධාවනය වන බවුසර් ප්‍රමාණය 600ක්. දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට නම් තවත් බවුසර් 400ක් පමණ අවශ්‍ය වනවා. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ අතිරේක බවුසර් ගමන්වාර යොදවා ඉන්ධන ප්‍රවාහනය සිදු කරන බවයි. 

මේ අතර අඹේවෙල පිහිටි දේශීය කිරිපිටි නිෂ්පාදන ආයතනයේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම සදහා අවශ්‍ය දැවි තෙල් ප්‍රවාහනයද දුම්රිය මගින් සිදු කෙරෙන අතර වැඩවර්ජනය හේතුවෙන් එම කටයුතුවලටද බාධා එල්ලවන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් පැවසුවේ. 

තිරිගු පිටි මෙන්ම සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය හුණුගල් ප්‍රවාහනයෙන්ද දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ වන විට ඉවත් වී තිබෙනවා. 

තිරිගු පිටි ප්‍රවාහනය සිදුකරන්නේ ත්‍රිකුණාමලය චීන වරායේ සිට සීදූව දක්වායි. ස්ථානාධිපතිවරුන් ත්‍රිකුණාමලය චීන වරාය දුම්රිය ස්ථානයේ කටයුතුවලින් ඉවත්වීමත් සමගයි තිරිගු පිටි ප්‍රවාහනයට බාධා එල්ලවී ඇත්තේ. බේකරි හිමියන් පවසන්නේ තිරිගු පිටි නොමැති වුවහොත් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමට දැඩි ගැටළුවක් මතු වන බවයි. 

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද ක්‍රියාත්මක වන්නේප පස්වන දිනටත් ක්‍රියාත්මකයි.