Friday, May 3, 2024

General line - 0115112241

ඩෙල්ටා හා ඔමික්‍රෝන් සුනාමියක් මෙන් භයානක බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි




ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද එක්වී සුනාමියක් ලෙස පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් පැවසුවේ එය ඉතා භයානක තත්ත්වයක් බවයි. අමෙරිකාව හා යුරෝපා රටවල කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව සඳහන් කළා. 

අමෙරිකාව සහ ප්‍රංශය මේවනවිට දරුණු කොරෝනා රැල්ලක අවදානමට මුහුණ දී සිටිනවා. ඒ වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව හඳුනා ගැනීමත් සමගයි. ගතවු පැය 24 දීත් අමෙරිකාවෙන් ආසාදිතයින් හාරලක්ෂ 62, 784 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 

ප්‍රංශයෙන් ද ගතවු පැය 24 දී ආසාදිතයින් දෙලක්ෂ 8, 099 දෙනෙකු හඳුනා ගැනුණා. එය දෙවන දිනටත් යුරෝපා රටකින් දිනකදී හඳුනා ගැනුණු වු වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ලෙසයි වාර්තා වන්නේ. මීට අමතරව ඩෙන්මාර්කය, පෘතුගාලය, බි්‍රතාන්‍ය සහ ඔස්ටේ්‍රලියාව වැනි රටවලින් ද මේවනවිට දෛනිකව වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එලෙස ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම එම රටවල සෞඛ්‍ය සේවයේ නියුතු සේවක පිරිස් වෙත දැඩි පීඩනයක් එල්ල වන තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙනවා. 

එම තත්ත්වය හමුවේ එම රටවල සෞඛ්‍ය පද්ධති බිඳ වැටීමට ආසන්න තත්ත්වයට පත්වෙමින් ඇති බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් අනතුරු අගවා තිබෙනවා.