Thursday, May 9, 2024

General line - 0115112241

රුපියල් බිලියන 15ක මත්ද්‍රව්‍ය පසුගිය වසරේදී නාවික හමුදා අත්අඩංගුවට




2021 වර්ෂයේදී සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. අනෙකුත් බුද්ධි සේවාවන් සමඟ ජාත්‍යන්තර මුහුදේත් ආවේක්ෂණ කටයුතු සිදු කරමින් නිරන්තර අවධානයෙන් යුතුව මෙහෙයුම් සිදු කිරීම මඟින් එවැනි විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පැවසුවේ. 

ඒ අනුව, මෙරට මුහුදේ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් ආවේක්ෂණය කරමින් අවස්ථා 74කදී සිදුකළ මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1,268කට අධික තොගයක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එහිදී දේශීය සැකකරුවන් 119 දෙනෙකු සහ විදේශීය සැකකරුවන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. අවස්ථා 151කදී සිදුකළ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 7,095කට අධික තොගයක් සමඟ දේශීය සැකකරුවන් 186 දෙනෙකු සහ විදේශීය සැකකරුවන් හත් දෙනෙකු පසුගිය වසර තුළ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 158කට අධික තොගයක් සමඟ සැකකරුවන් 98 දෙනෙකුද, පසුගිය වර්ෂයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.