Friday, May 3, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව ගිනි ගනී




දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල අද විශාල ගින්නක් හට ගත්තා. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහලයෙන් ගිනිදැල් පිටවන ආකාරය සහ ඉන් විශාල කළු දුමාරයක් නිකුත් වන අයුරු දැක්වෙන අයුරු දැක්වෙන වීඩියෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවන භටයින් රැසක් එම ස්ථානයට කැඳවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ 03 වන මහලේ පිහිටි කාර්යාලයකින් ගින්න හටගෙන තිබෙනවා. අනතුරුව එය ක්ෂණිකව පැරණි ජාතික සභාව පිහිටි කොටස වෙත ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. 

ගොඩනැගිල්ල තුළ ඇති බුමුතුරුණු සහ ලීයෙන් සකස් කර ඇති කොටස් ද ගින්නට හසුවී ඇති බැවින් ගින්න පාලනය කිරීම අසීරුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගොඩනැගිල්ලේ එක් කොටසක වහලය ද ගින්න හේතුවෙන් කඩා වැටී ඇතැයි සඳහන්. ගොඩනැගිල්ලේ ඇතැම් බිත්ති ඉරි තැලීම්වලට ලක්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

මේ අතර දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ආසන්නයේ පිහිටි ශාන්ත ජෝන් දෙව්මැදුරේදී ඉකුත් දා ස්වර්ගස්ථ වූ අගරදගුරු ඩෙස්මන් ටුටූ පියතුමන්ගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පවත්වා පැය කිහිපයකින් අනතුරුවයි මෙම ගින්න හටගෙන ඇත්තේ.  

කෙසේවෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවාඩු දින බැවින් ගින්න හටගත් අවස්ථාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ කිසිඳු සැසියක් පවත්වා නොමැති බවයි. 

දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කොටස් 03 කින් සමන්විත වන අතර එහි පළමු කොටස ඉදිකර ඇත්තේ 1884 වසරේදීයි. ඉන් අනතුරුව 1920 දී සහ 1980 වසරවලදී අනෙක් කොටස් ඉදිකර තිබෙනවා.