Tuesday, May 14, 2024

General line - 0115112241

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෝ 250 දෙනෙකු රට හැර යාමේ සූදානමක්




වසර දෙකක කාලයක් අන්තර් සමාජ පළමුපෙළ තුන්දින ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වීම හේතුවෙන් ක්‍රීඩා සමාජ වලට සම්බන්ධ 250කට අධික පිරිසක් අපහසුතාවට ලක්ව ඇතැයි පවසමින් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා වෙත  ලිපියක් යොමු කර තිබෙනවා. 

එම ක්‍රීඩකයින් සිය ඒකාබද්ධ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ මේ හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් රට හැරයාමේ අවදානමක්ද මතුව ඇති බවයි. කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් 2019 වසරෙන් පසු වසර දෙකක කාලයක් අන්තර් සමාජ පළමුපෙළ තුන්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අවස්ථාව හිමිවූයේ නැහැ. 

බොහෝ පළමු පෙළ ක්‍රීඩකයින්ගේ ප්‍රධාන රැකියාව පළමු පෙළ තරගාවලිය වන බැවින් එය අහිමි වීමෙන් තමන් සහ පවුල්වල සාමාජිකයන් ආර්ථික වශයෙන් අසරණ වී ඇති බව එම ක්‍රීඩකයින් සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ කිසිඳු ආදායම් මාර්ගයක් නොමැතිව සිටි ඇතැම් ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාව වැනි රටවල ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බව ද එම ලිපියේ දැක්වෙනවා. තවත් පිරිසක් ක්‍රිකට් ක්‍රිඩාව අත්හැර වෙනත් වෘත්තීන් වල නිරත වීමට අදහස් කර ඇති බවයි එම ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ. 

ඒ අනුව අදාළ ක්‍රීඩකයන් ඉල්ලා සිටින්නේ මීට පෙර පැවති ආකාරයට පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලිය නැවත ආරම්භ කරන ලෙසයි. 

මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝට්ස්මන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු  සඳහන් කළේ මෙම වසරේදී පළමු පෙළ එක්දින තරගාවලියත්, තුන්දින තරගාවලියත් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.