Wednesday, May 15, 2024

General line - 0115112241

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට ඕස්ට්‍රේලියාව දොර වසයි




ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ට ඕස්ට්‍රේලියාව සිය දේශසීමා වසා දමා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග රටට ඇතුළුවීමේදී පිළිපැදිය යුතු බවට ඕස්ට්‍රේලියාව විසින් නිකුත් කර ඇති රෙගුලාසි වලට අනුකුළව කටයුතු කිරීමට ඔහු අපොහොසත් වීම හමුවේ ඕස්ට්‍රේලියානු බලධාරීන් එම තීරණය ගෙන ඇති බවයි. 

ඒ අනුව මෙල්බර්න් ගුවන් තොටුපළට ලගා වූ ජොකෝවික්ගේ විසා බලපත්‍රය අවලංගු කර ඇති අතර ඔහුට පැය ගණනාවක් ගුවන් තොටුපළ තුල රැඳී සිටීමට සිදුව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

නොවැක් ජොකෝවික් රටට ඇතුළුවීමේදි පිළිපැදිය යුතු එන්නත්කරණය ඇතුළු නීති රීති සපුරා නොමැති බැවින් ඔහුව පිටුවහල් කරන බවට ද ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂකයින් පවසා තිබුණා. 

මෙම සිදුවීම වාර්තා වුණේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමට නියමිත බැවින් නොවැක් ජොකෝවික් එන්නත් නීති වලින් නිදහස් කර ඇති බවට වාර්තා වී දිනකට පසුවයි. කෙසේවෙතත් ඕස්ට්‍රේලියාවට ඇතුළුවන සියලුදෙනා එරට දේශසීමා නීතිරීතිවලට යටත්විය යුතු බවත්, නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබෙනවා. 

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ජොකෝවික් අභියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඔහුගේ  නීතීඥයින් විසින් ඕස්ට්‍රේලියාවේ තීරණය වෙනස් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේවෙතත් නොවැක් ජොකෝවික් තවදුරටත් මෙල්බර්න් ගුවන් තොටුපළේ රැඳී සිටිනවාද? නැතහොත් ඔහු එරටින් පිටවූයේ ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වි නැහැ. එහිදී ජොකෝවික් කොරෝනා මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් අදහස් පළ කර නොතිබීම විශේෂත්වයක්. කෙසේවෙතත් කොවිඩ් මර්දන එන්නත්කරණයට විරුද්ධ බව නොවැක් ජොකෝවික් ඉකුත් දා පවසා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.