Thursday, May 16, 2024

General line - 0115112241

බහුදින ධීවර යාත්‍රා මගින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ  ප්‍රබලයෙක් STF අත්අඩංගුවට




මුහුදු මාර්ගයෙන් බහුදින ධීවර යාත්‍රා උපයෝගී කරගෙන සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු සහ ඊට අනුබල දුන් තවත් අයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදල් තොගයක් ද සමගයි. පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරු අනුව තංගල්ල සහ තෙලිකඩ ප්‍රදේශවල සිදුකළ වැටලිම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

තංගල්ල ප්‍රදේශයේ සිදුකෙරුණු වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු බහුදින ධීවර යාත්‍රාවක නියමුවෙකු ලෙස කටයුතු කරන අයෙක්. 

32 හැවිරිදි එම සැකකරු කොස්කොරටුව සීනිමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. 

සැකකරු සතුව තිබී රුපියල් පනස්ලක්ෂ 14 ක මුදලක්, ග්‍රෑම් 377 ක් බරින් යුත් රන් ආභරණ, හෙරොයින් ග්‍රෑම් 10 ක් සහ දුරකථනයක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබෙනවා. 

එම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දීමේ චෝදනා මත ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 60 හැවිරිදි වියේ පසුවන එම සැකකරු ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. 

ඔහු සතුව තිබී රුපියල් 90 ලක්ෂ 2,800 ක මුදලක්, විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ මැගසින් 02 ක්, සැටලයිට් වර්ගයේ දුරකථනයක් හා ජංගම දුරකථන 02 ක් සොයා ගෙන තිබෙනවා. 

සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.