Sunday, May 19, 2024

General line - 0115112241

කොටදෙණියාවේ දී අතුරුදන් වූ දරුවන් දෙදෙනා හමුවෙයි 




කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනා අද සොයා ගැණුනා. 

අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනා කාන්තාවක් විසින් අද දිනයේ මීරිගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ. 

එම දරුවන් දෙදෙනා රැදී සිටි ස්ථාන සහ ඔවුන් අතුරුදන් වූ ආකාරය අනාවරණ කර ගැනීම සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

මෙම ළමුන් දෙදෙනා පොලීසිය වෙත ලබාදුන් මූලික ප්‍රකාශවලදී විටින් විට පරස්පර අදහස් ප්‍රකාශ කර ඇති බවයි පොලිසිය පවසන්නේ. සිය මව පහර දෙන බැවින් නිවසෙන් පැන ආ බවත් සිය නිවසට ආසන්නයේ පාසලක එදින පස්වරුව තෙක් රැදී සිට ඇති බවත් ඔවුන් පවසා තිබෙනවා. 

අදාළ පාසලේ කොටුවක තිබූ ගොටුකොල කඩා මිටි කිහිපයක් සකස් කර එළවළු අළෙවි කරන ස්ථානයකට ලබාදී රුපියල් සියයක මුදලක් ලබාගත් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ. නිවසින් පැනගිය පසු මීගමුව ප්‍රදේශයේ රැදී සිටි බවද එම දරුවන් දෙදෙනා ප්‍රකාශ කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. දරුවන් දෙදෙනා විටින් විට ලබාදෙන තොරතුරු පරස්පර බවත් යළි නිවසට යා නොහැකි බව ඔවුන් පවසන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.