Sunday, May 19, 2024

General line - 0115112241

ළමුන් සදහා කොවිඩ් මර්දන එන්නත පාසලෙන් ලබාගැනීම ගැන දැනුම්දීමක් 




වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සදහා කොවිඩ් මර්දන එන්නත පාසලෙන් ලබාගැනීමට නොහැකි වුවහොත් ඒ පිළිබද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මව්පියන්ට දැනුම් දෙනවා. 

වයස අවුරුදු  12 ත් 15 ත් අතර ළමුන් සදහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම අද ආරම්භ කෙරුණා. එන්නත් ලබාගැනීමෙන් පසු කළයුතු කටයුතු පිළිබද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස කරුණු දැක්වූවා.

මේ අතර පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සැලකීමට මින් පසුව බූස්ටර් මාත්‍රාවද ලබාගෙන තිබීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මීට පෙර පූර්ණ එන්නත්කරණය ලෙස සැලකූයේ කුමන හෝ එන්නතක මාත්‍රා දෙකක් ලබා ගැනීමයි. 

ඉදිරියේදී ලබාදෙන එන්නත් කාඩ්පතෙහි පූර්ණ එන්නත්කරණය යටතට බූස්ටර් එන්නත ද ඇතුළත් වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. ඒ, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සමග පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර පළමු එන්නත් මාත්‍රා දෙක ලබාගැනීමෙන් පසු කිසියම් පුද්ගලයෙකු ඩිජිටල් එන්නත් කාඩ්පත ලබාගෙන තිබුණේ නම් 3 වන මාත්‍රාව ලබාගැනීමෙන් පසු එම කාඩ්පත යාවත්කාලීන කිරීමට නොහැකි බවට නෙත් නිවුස් කළ අනාවරණයට විසදුම් ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එවැනි ගැටළුවක් වේ නම් ඒ පිළිබද 070 173 12 60 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවීමෙන් අදාළ යාවත්කාලීන කර ගැනීම් සිදුකළ හැකි බවයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ. 

එහෙත් ඇතැම් පිරිස් පැවසුවේ එම අංකයට තොරතුරු ලබාදුන්නද ඩිජිටල් එන්නත් කාඩ්පත යාවත්කාලීන කිරීම ප්‍රමාද වන බවයි. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් විමසීමක් කළා.

මේ අතර බූස්ටර් එන්නත ලබාදීම ඉදිරි සති කිහිපය තුළ වේගවත් කිරීම සදහා සියලුම පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. 

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බූස්ටර් එන්නත් ලබාදීම තවත් කඩිනම් කරන ලෙසත් සෑම කොට්ඨාශයකටම මධ්‍යස්ථාන කිහිපයක් එක් කරන ලෙසටත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.