Tuesday, May 14, 2024

General line - 0115112241

සුනාමියෙන් බැට කෑ ටොන්ගා රාජ්‍යය, කොරෝනා අවදානමක




ගිනි කන්දක් විධාරණය වීම හේතුවෙන් නැගී ආ සුනාමි රළ පහරට හසුව දැඩි බලපෑම් එල්ල වූ ටොංගා රාජ්‍යය මේවනවිට මානුෂීය අර්බුද රැසකට මුහුණ පා සිටිනවා. 

විදෙස් වාර්තා පැවසුවේ රට තුළ දැඩි පානීය ජල අර්බුදයක් හා ආහාර හිගයක් පවතින බවයි. 

සුනාමියෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගිය අතර දේපළ හානි රැසක් සිදුවුණා. 

පවතින තත්ත්වය හමුවේ ටොංගා රාජ්‍යයට අවශ්‍ය ඉක්මන් මානුෂීය ආධාර ලබාදීමටයි ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය මේවනවිට පියවර ගෙන ඇති අතර විදෙස් ආධාර ලබාගැනීම සඳහා ටොංගා රාජ්‍ය සිය ගුවන් තොටුපළ විවෘත කර තිබෙනවා. 

ඒ අනුව  ඔස්ට්‍රේලියාවෙන් හා නවසීන්තයෙන් ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක සේවා ඇතුළු තවත් පහසුකම් රැගත් ගුවන් යානා කිහිපයක් ටොංගා රාජ්‍යය බලා පිටව ගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

ගිනි කන්ද විධාරණයෙන් නිකුත් වූ අළුවලින් හා සුනාමියත් සමග ගොඩබිමට කඩා වැදුනු මුහුදු වතුර හේතුවෙන් නගර රැසක් විනාශ වි ඇති අතර එරට වැසියන්ගේ නිවාස සහ දේපළ ද ඒ අතරට අයත්. 

මුහුදු වතුර හා ගිනි කන්දෙන් පිටවුණු අළු හේතුවෙන් ජල මූලාශ්‍ර ද දැඩි ලෙස අපිරිසිදු වී ඇතැයි සඳහන්. පවතින තත්ත්වය හමුවේ ටොංගා රාජ්‍යයට ඩොලර් මිලියනයක ආධාර ලබාදෙන බවයි  ඔස්ට්‍රේලියාව සඳහන් කළේ. 

සුනාමියේ බලපෑමත් සමග ටොංගා රාජ්‍යයේ සන්නිවේදන පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටුණා. ඒ හමුවේ සහන කටයුතු වලට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ. 

කෙසේවෙතත් ඊයේ පස්වරුව වනවිට දුරකථන පහසුකම් පමණක් යථාතත්ත්වයට පත් කෙරුණු අතර අන්ත්ර්ජාල පහසුකම් යථාතත්ත්වයට පත් කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි පැවසෙන්නේ.   

මේ අතර සුනාමියෙන් පසුව මුහුණ පා ඇති දුෂ්කර තත්ත්වය හමුවේ ටොංගා රාජ්‍යයට මේවනවිට කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමකට ද මුහුණ දීමට සිදුව ඇති බවට ද වාර්තා පළවුණා. ටොන්ගා රාජ්‍ය හඳුනාගෙන ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිතයින් හමුනොවූ රටක් ලෙසයි. 

කෙසේවෙතත් පවතින ව්‍යවසනකාරි තත්ත්වය හමුවේ ටොංගා රාජ්‍යයට විදෙස් ආධාර හිමිවන බැවින් ඒ සඳහා පැමිණන පිරිස්වලින් රට තුළ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බවයි ටොංගා බලධාරීන් සඳහන් කළේ.