Thursday, May 16, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන නවතම අනාවරණයක්




ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධයෙන් ජපානයේ පර්යේෂකයින් පිරිසක් නවතම අනාවරණයක් සිදුකර තිබෙනවා. 

ඒ අනුව අදාළ පර්යේෂකයින් පිරිස සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය මිනිස් සම මත පැය 21 කට අධික කාලයක් සජීවීව පවතින බවයි. 

එම ප්‍රභේදය ප්ලාස්ටික් පෘෂ්ඨයක් මත දින 08 කට වඩා වැඩි කාලයක් සජීවීව පවතින බවත්, අනෙකුත් කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව වේගවත් ව්‍යාප්තියක් දැකිය හැකි බවත්, අදාළ සමීක්ෂණය සිදුකළ ජපන් විද්‍යාඥයින් පිරිස අනාවරණ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේවනවිට ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එලෙස වාර්තා වන ආසාදිතයින්ගෙන් බොහෝ දෙනෙකු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූවන් වනවා.  

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි නව එන්නතක් හඳුන්වාදීම කෙරෙහි ෆයිසර් සහ බයෝ එන් ටෙක් සමාගම්වල අවධානය යොමුව තිබෙනවා. එම සමාගම් පවසන්නේ අදාළ එන්නතේ සායනික අත්හදා බැලීම් මේවනවිට ආරම්භ කර ඇති බවයි. අදාළ සායනික පරීක්ෂාවන් සඳහා වැඩිහිටියන් 1, 400 කට වඩා වැඩි පිරිසක් සහභාගී කරවා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අදාළ එන්නත සාර්ථක ප්‍රතිපල ගෙන දෙන්නේ නම් එය බූස්ටර් මාත්‍රාවක් ලෙස භාවිතා කිරීමට අපේක්ෂා කරන බවයි ෆයිසර් සහ බයෝ එන් ටෙක් සමාගම් පවසන්නේ. 

මේ අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා ඇස්ට්‍රාසෙනිකා සමාගම් ද මේවනවිට කොරෝනා වෛරසයට එරෙහිව නව එන්නතක් නිපදවීමේ ක්‍රියාවලිය මේවනවිටත් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ. මොඩර්නා සමාගම ද ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක අත්හදා බැලීම් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි. කොරෝනා මර්දන නව එන්නතක් සම්බන්ධයෙන් මෙම සමාගම් අවධානය යොමු කර තිබුණත්, ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා රටවල සීග්‍රයෙන් පැතිර යාම හමුවේ එම කටයුතු වේගවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.