Thursday, May 16, 2024

General line - 0115112241

උසස් පෙළ විභාගයේ කාල සටහනට එරෙහිව පෙත්සමක්




උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කර කර ඇති කාලසටහන ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු අභියාචනාධිකරණයට අද රිට් පෙත්සමක් ඉදිරිපත් කළා.

2021 උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 7 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල්.ජේ. නවරත්නයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර මේ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බවයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ. විෂය නිර්දේශ පවා නිසි පරිදි සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ බවද පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20 ක කාලයක් ලබා දිය යුතු බවට ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ද රජය වෙත නිර්දේශය කර තිබුණ ද එම නිර්දේශය අධ්‍යාපන අමාත්‍යාංශය සහ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති බවයි නාගානන්ද කොඩිතුවක්කු සිය පෙත්සමින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.