Thursday, May 16, 2024

General line - 0115112241

සිමෙන්ති ආනයනයට රජයත් සැරසෙයි




වෙළඳපලේ මේවනවිට පවතින හිගය අවසන් කිරීම සඳහා සිමෙන්ති ආනයනය කිරීමට රජය සූදානම් වනවා. ඒ සඳහා ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

ඒ අනුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා මෙලෙස සිමෙන්ති ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ සඳහා මුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ඉකුත්දා පැවති සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමුව තිබෙනවා.

දැනට වෙළඳපොලේ පවතින්නේ සිමෙන්ති හිඟයක් නොව මාෆියාවක් බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

ඩොලර් නොමැතිවීම හේතුවෙන් ආනයනය සඳහා ගැටලු මතුවී ඇත්තේ දෛනික සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 10 ක ප්‍රමාණයක් සඳහා පමණයි. ඒ අනුව සියයට 90 ක ප්‍රමාණයක් ගැටලුවකින් තොරව වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.

මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාව කොට්ට ලක්ෂ 140 ක් පමණ වනවා. එම අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන කොට්ට ප්‍රමාණය සියයට 40 ක්. තවත් සමාගම් 02 ක් සියයට 32 බැගින් සහ සියයට 18 බැගින් සිමෙන්ති ආනයනය කර මෙරටදී ඇසුරුම් කර බෙදාහැරීම සිදු කරනවා.

තවත් සිමෙන්ති කොට්ට සියයට 10 ක ප්‍රමාණයක් කොට්ට වශයෙන්ම ආනයනය කර බෙදාහැරීම සිදු කරනු ලබනවා.

මෙලෙස සියයට 90 ක ප්‍රමාණයක් නිකුත් කරන සිමෙන්ති සමාගම් මිල වැඩි කර ගැනීමේ අරමුණින් වෙළඳපොලට සිමෙන්ති නිකුත් කිරීම පාලනය කර ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

සිමෙන්ති කොට්ටයක් මෙරට අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1,375 ක්. එහෙත් මේ වන විට රුපියල් 1,800 ත් 2,000 ක් දක්වා මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර නියමිත මිලට සිමෙන්ති අලෙවි නොකරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත්දා නිවේදනය කළා.