Friday, May 3, 2024

General line - 0115112241

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 02 වනදා යළි පණ ගැන්වෙයි




සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ක්‍රියාමාර්ග මේවනවිට ආරම්භ කර තිබෙනවා. 

ඒ අනුව එහි බොයිලේරු පණගැන්වීම ඉකුත් සිකුරාදා ආරම්භ කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. බොරතෙල් නොමැතිවීම හේතුවෙන් පිරිපහදුවේ කටයුතු ජනවාරි මස 03 වනදා සිට අත්හිටවනු ලැබුවා. කෙසේවෙතත් මේවනවිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් මෙරටට රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් පොම්ප කිරීමෙන් අනතුරුව බොහෝවිට ලබන 02 වනදා සිට පිරිපහදු කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. 

තෙල් පිරිපහදුවේ කටයුතු මෙට්‍රික් ටොන් 5500 ක උපරිම ධාරිතාවයෙන් පවත්වාගෙන යන්නේ නම් මෙම බොරතෙල් තොගය ප්‍රමාණවත් වන්නේ දින 16 ක කාලයකට පමණයි. කෙසේවෙතත් බොරතෙල් නොමැතිව පිරිපහදුව වසා දැමීමට පෙර එහි පිරිපහදු කටයුතු සිදුකර ඇත්තේ මෙට්‍රික් ටොන් 3,500 ක ධාරිතාවයකින්. ඒ අනුව එම ධාරිතාවයෙන් පිරිපහදුවේ කටයුතු සිදුකරන්නේ නම් මෙම බොරතෙල් තොගය දින 25 ක් සඳහා ප්‍රමාණවත් වනවා. මෙලෙස තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ ද, විදුලිබල නිෂ්පාදනය සඳහා අවශ්‍ය නැප්තා සහ දැවිතෙල් ලබාගැනීමට සතියකට වැඩි කාලයක් ගතවනු ඇති බවයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ. 

ඒ අනුව තෙල් පිරිපහදුවේ කටයුතු මෙට්‍රික් ටොන් 5500 ක උපරිමයෙන් පවත්වාගෙන යන්නේ නම් නැප්තා මෙට්‍රික් ටොන් 75 ත් 90 ත් අතර ප්‍රමාණයක් සහ දැවිතෙල් මෙට්‍රික් ටොන් 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වනවා. එහෙත් පිරිපහදුවේ කටයුතු මෙට්‍රික් ටොන් 3, 500 ක ප්‍රමාණයෙන් පවත්වාගෙන යන්නේ නම් ලබාගත හැකි නැප්තා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50 ක් පමණ වන අතර දැවිතෙල් ලබාගත හැක්කේ මෙට්‍රික් ටොන් සියයකට ආසන්න ප්‍රමාණයක් පමණයි. එහෙත් මෙරට විදුලිබල නිෂ්පාදනය සඳහා අවශ්‍ය දෛනික දැවිතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ක් පමණ වනවා.