Saturday, May 4, 2024

General line - 0115112241

පාසැල්වල ප්‍රාථමික පන්ති පැවැත්වීම ගැන තීරණයක් ගන්න පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට බලය




උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී ප්‍රාථමික ශ්‍රේණි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත බලය පවරා තිබෙනවා. 

ලබන 7 වනදා සිට මාර්තු මස 5 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් හෙට සිට මාර්තු පස් වනදා දක්වා පාසල්වලට නිවාඩු ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. 

එහෙත් එම කාලය තුළ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පවත්වා ගෙන යා යුතු බව එම අමාත්‍යාංශය මීට පෙර සදහන් කළා. 

කෙසේවෙතත් එලෙස ප්‍රාථමික පන්ති පවත්වාගෙන යාමෙන් උසස් පෙළ විභාගයට බාධාවක් වන්නේ නම් අදාළ විදුහල්පතිවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් හරහා පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ වෙත දැනුම්දිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ. ඒ අනුව එවැනි ප්‍රාථමික ශ්‍රේණි සදහා නිවාඩු ලබාදීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත බලය පවරා තිබෙනවා. 

කෙසේවෙතත් එලෙස නිවාඩු ලබාදෙන ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සදහා පැවරුම් ලබාදීම වැනි ඉගෙනුම් ක්‍රම යොදාගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත්තේ.

එහෙත් උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී ප්‍රාථමික ශ්‍රේණි පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන බවයි ලංකා ගුරු සේවා සංගමය සදහන් කළේ. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පෙන්වා දෙන්නේ ඇතැම් ප්‍රාථමික ගුරුවරුන් උසස් පෙළ විභාග රාජකාරීවල ද නිරතවීම ඊට බලපා ඇති ප්‍රධාන හේතුවක් බවයි.

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ප්‍රාථමික ශ්‍රේණි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ පාසල් රැසක ඇතැම් පන්ති කාමර මේ වනවිටත් වසා දමා ඇති බවයි සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ද පවසන්නේ. 

පාසල් ප්‍රජාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපැදීම මෙලෙස වෛරසය ව්‍යාප්තවීමට බලපා ඇති ප්‍රධාන හේතුව බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සදහන් කළා.