Saturday, May 4, 2024

General line - 0115112241

රාගම වෛද්‍ය සිසුන්ට පහරදුන් සිද්ධියට රාජ්‍ය ඇමතිවරයෙකුගේ නමක් ගෑවෙයි - රජයේ වාහනයකුත් පොලිස් භාරයට




රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහර දීමට අදාලව අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 06 දෙනාගෙන් පස් දෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයකට අනුවයි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අය අතරට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙදෙනෙක්, සිසුන් විසින් පොලිසියට භාර දුන් පොල් සංවර්ධන මණ්ඩලයේ මෝටර් රථය ධාවනය කළ රියදුරා ද අයත්. ඊට අමතරව තවත් පුද්ගලයින් තිදෙනෙකු රාගම පොලිස් ස්ථානයට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

කෙසේවෙතත් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලැබු දෙදෙනාගෙන් එක් අයෙකු වන වෛද්‍ය පීඨ සිසුවා හැර අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් පස් දෙනා එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

අද දිනයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් පැවසුවේ සිය සිසුන්ට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ මැරවරයන් පිරිසක් විසින් රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරය වෙත පැමිණ එලෙස පහරදුන් බවයි. ඔවුන් පැමිණි එක් වාහනයක් පොල් සංවර්ධණ අධිකාරීයට අයත් බවද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පැවසුවේ. 

සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් එම ප්‍රහාරයට හේතු වී ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ. 

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පැමිණ සිසුන්ට පහර දීමට අදාල අනෙකුත් සැකකරුවන් සොයා පුළුල් විමර්ෂනයක් සිදු කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.