Tuesday, May 7, 2024

General line - 0115112241

නීතිඥ හිජාස් හිස්බුල්ලාට මාස 22කට පසු ඇප ලැබෙයි




ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා. ඒ, එම ඉදිරිපත් කෙරුණු ප්‍රතිශෝධන පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී. 

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර සිටියා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිජාස් ඉස්බුල්ලා ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හලාවත මහාධිකරණය වෙත නියෝග කර සිටියා.

එම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් ඉස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.