Thursday, May 16, 2024

General line - 0115112241

බන්ධනාගාරය වෙනුවට නිවාස අඩස්සිය ගෙන එන්න යෝජනාවක්




බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් ලෙස සුළු වැරදි සඳහා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය හඳුන්වාදීමට අවධානය යොමුව තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ ප්‍රතිසංස්කරණයන්ට ලක්විය යුතු අංගයන් හඳුනා ගනිමින් ඒවාට පිළියම් සහිතව සකස් කර ඇති පස් අවුරුදු සැලැස්මෙන් එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහායි. 
 

ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට විකල්පයක් ලෙස දියුණු විශෝධන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන රටවල භාවිත කෙරෙන නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමයට සමාන ක්‍රමයක් මෙරට ක්‍රියාත්මක කිරීමටයි යෝජනා වී ඇත්තේ. නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයේදී සුළු වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන සහ සුළු දඬුවම් ලබන රැඳවියන් බන්ධනාගාර ගත නොකොට ඔවුන්ගේ නිවෙස්වලම නියමිත කාලය තුළ රැඳවීමට කටයුතු කෙරෙනවා. 

තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් ඔවුන් අධීක්ෂණය කරන අතර සෞඛ්‍ය, රැකියා වැනි සීමා සහිත හා පෙර අනුමැතිය ලද කාර්යයන්ට පමණක් නිවසින් බැහැරවීමට අවස්ථාව සැලසෙනවා. මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වීම තුළ සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වන පිරිස් අඩුවීම මගින් බන්ධනාගාර තදබදය අවම වන අතර විශාල මුදලක් රජයට ඉතිරි කර ගත හැකියි. 

දඩ නොගෙවන පුද්ගලයින්, දඩ නොගෙවීමට නොහැකිවීම නිසා බන්ධනාගාර ගත වන රැඳවියන් නිවාස අඩස්සියේ තැබීමෙන් ඔවුන්ට රැකියාවකට යාමට අවස්ථාව සැලෙසන අතර එමගින් අදාළ දඩ මුදල ගෙවීමට ද අවස්ථාවක් සැලසෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මෙම ව්‍යාපෘති යෝජනාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදී ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.