Friday, May 3, 2024

General line - 0115112241

රුසියා ආක්‍රමණයෙන් සමස්ත යුරෝපයටම න්‍යෂ්ටික අවදානමක් : "චර්නොබිල්" න්‍යෂ්ටික බලාගාරය අසල බිහිසුණු ගැටුමක් (VIDEO)




යුක්රේනය සහ රුසියානු හමුදාවන් අතර ඇතිවී තිබෙන යුද ගැටුම් සමග යුරෝපය ඇතුළු සමස්ත කලාපයටම විකිරණශීලි බලපෑමක් එල්ලවීමේ අවදානමක් මේ වන විට මතුවී තිබෙනවා. ඒ යුක්රේන අගනුවරට සැතපුම් 60ක් උතුරින් පිහිටි "චර්නොබිල්" න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපයේ ගැටුම් උත්සන්න වීමත් සමගයි.

යුක්රේන බලධාරීන් සඳහන් කරන පරිදි මේ වන විට එම ප්‍රදේශයේ රුසියානු හමුදා සහ සිය භට පිරිස් අතර දැඩි සටන් පවතින බවයි. 

1986 වර්ෂයේදී පිපිරීමකට ලක්වූ මෙම න්‍යෂ්ටික බලාගාරයෙන් විහිදී ගිය විකිරණශීලි ධාරාවන් යුක්රේනය, බෙලරුස් සහ යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ල කරන ලදී. පසුව එම බලාගාරයේ පිහිටි න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීමේ සංකීර්ණ වල තබා තිබෙන අතර මේ වන විට ගැටුම් ඇතිවී තිබෙන්නේ එම කලාපය තුලයි.

යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ පැවසුවේ රුසියානු හමුදාවන් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා ආකාර ඇති කලාපයට ඇතුළු වීමත් සමග සිය හමුදාවන් ඊට ප්‍රතිචාර දැක්වූ බවයි. මේ වන විටත් දෙපාර්ශවය අතර ප්‍රබල සටනක් එම ප්‍රදේශයේ සිදුවෙමින් පවති. 

මෙම ගැටුම් සමග යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් ඉන් පිටවන විකිරණශීලීත්වය යුක්රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපදේශක අනතුරු අඟවා සිටිනවා.

මේ අතර යුක්රේන ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රුසියානු හමුදාව "චර්නොබිල්" න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය අත්පත් කර ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටින බවයි.