Friday, May 3, 2024

General line - 0115112241

යුක්‍රේන පිරිමින්ට රටින් පිටවීම තහනම් කරයි




යුක්‍රේනයේ සිටින සියලුම පිරිමි පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. ඒ, යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි විසින්. ඒ අනුව යුක්‍රේනයේ සිටින අවුරුදු 18 ත් 60 ත් අතර සියලු පිරිමි පුරවැසියන් තවදුරටත් මව්රට තුළම රැඳී සිටින ලෙසයි ජනාධීපතිවරයා ඉල්ලීමක් කර ඇත්තේ. 

රුසියානු ආක්‍රමණයත් සමග යුක්රේන ජනාධිපතිවරයා ඊයේ රට තුළ හමුදා නීතිය බලාත්මක කළා. එය දින 90 ක කාලයක් පුරා බලපැවැත්වෙනු ඇති. අදාළ කාලය තුළ පිරිමි පුරවැසියන්ට රටින් පිටවීම තාවකාලිකව තහනම් වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර රුසියානු ආක්‍රමණයත් සමග රුසියාවේ පළමු ඉලක්කය තමන් බව යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පවසනවා. ඔවුන්ගේ දෙවන ඉලක්කය සිය පවුල බවත් පවතින තත්ත්වය අනුව තමන් සිටින්නේ දැඩි අවදානමක බවත් යුක්‍රේන ජනාධිපතිවරයා අනතුරු අගවා තිබෙනවා. මේ අතරතුර යුක්‍රේනයේ කිව් අගනුවර තවත් පැය කිහිපයකින් රුසියානු හමුදාවට නතු වනු ඇති බවයි අමෙරිකානු බුද්ධි වාර්තා අනාවරණ කරන්නේ.

මේ අතර යුක්‍රේනය සහ රුසියානු හමුදාවන් අතර ඇතිවූ බිහිසුණු යුද ගැටුමකින් අනතුරුව යුක්‍රේන පාලනයේ පැවති චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය ඇතුළු ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට රුසියානු හමුදාව සමත්ව තිබෙනවා. 

1986 වර්ෂයේදී පිපිරීමකට ලක්වූ මෙම න්‍යෂ්ටික බලාගාරයෙන් විහිදී ගිය විකිරණශීලි ධාරාවන් යුක්‍රේනයේ, බෙලරුස් සහ යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ල කළා. මේවනවිට එම බලාගාරයේ පිහිටි න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීමේ සංකීර්ණ වල තබා තිබෙන අතර මේවනවිට ගැටුම් පවතින්නේ ද එම කලාපය තුලයි. කෙසේවෙතත් න්‍යෂ්ටික බලාගාරයේ මේවනවිට තත්ත්වය කුමක්ද යන්න නිශ්චිතව අනාවරණ වී නැහැ.

පවතින යුද ගැටුම් මධ්‍යයේ මේවනවිට යුක්‍රේන හමුදාව සහ සිවිල් වැසියන් ඇතුළු 137 දෙනෙකු මියගොස් ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවේ. මේවනවියටත් යුක්‍රේන වැසියන් ලක්ෂයක් පමණ රටින් පළාගොස් ඇති බවත් තවත් බොහෝ පිරිසක් රටින් පිටවීමට උත්සහ දරමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.