Friday, May 3, 2024

General line - 0115112241

යුක්රේනයේ දරුණු ගැටුම් : රුසියන් හමුදාව තවත් නගරයකට ඇතුල් වෙයි




රුසියානු හමුදාව විසින් යුක්රේනයේ තවත් නගරයකට ඇතුළු වී තිබෙනවා. රුසියානු හමුදාව විසින් එලෙස ඇතුළු වී ඇත්තේ යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාකිව් නගරයටයි. කාකිව් නගරයේ ස්ථාන රැසක රුසියානු භට පිරිස් හා ඔවුන්ට අයත් යුද්ධ ටැංකි ස්ථාන ගත කර ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේවෙතත් යුක්රේන රජය පවසන්නේ නගරයට ඇතුළු වූ රුසියානු භටයින් පළවා හැරි බව හා එහි බලය තමන් සතු බවයි. 

මේ අතර යුක්රේනයේ කිව් අගනුවරට ඇතුළු වූ රුසියානු සෙබළුන් හා යුක්රේන හමුදාව අතර තවදුරටත් ගැටුම් ක්‍රියාත්මකයි. කෙසේවෙතත් ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ කිව් අගනුවර අත්පත් කර ගැනීම රුසියාවට පහසු නොවන බවයි. රුසියානු හුමුදාව කිව් අගනුවරට ඇතුළු වී මේවනවිට දින 02 ක් ගතවී ඇති නමුත් ඔවුන්ට තවමත් නගරයේ බලය අල්ලා ගැනීමට හැකිවී නැහැ. 

යුක්රේන රජය පැවසුවේ සතුරු පාර්ශවයෙන් දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් ඇති නමුත් අගනුවර සම්පූර්ණ පාලනය රජය සතු වන බවයි. මේ අතර රුසියානු හමුදාව විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කළ බව ද යුක්රේන රජය ප්‍රකාශ කළා. එම මිසයිලය රුසියාවට සහය දක්වන බෙලරුසියාවේ සිට යොමු කර ඇති බවටයි යුක්රේනය චෝදනා කළේ.

කෙසේවෙතත් රුසියාව අපේක්ෂා කළ පමනට වඩා යුක්රේන හමුදාව මනාව සංවිධාන වී ඇති බැවින් කිව් අගනුවර අත්පත් කර ගැනීමට රුසියාවට නොහැකිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

යුක්රේන හමුදාවෙන් එල්ල වන ප්‍රහාර හමුවේ පහසුවෙන් අගනුවර අල්ලා ගැනීමට නොහැකි බැවින් රුසියානු හමුදාවන් යුක්රේනයේ වෙනත් නගර වෙත ඇතුළු වෙමින් ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා. 

කෙසේවෙතත් යුක්රේනයේ අගනුවර අල්ලා ගැනීමට නොහැකිවීම හා එල්ල කෙරෙන ප්‍රහාර හමුවේ සිවිල් වැසියන්ට සිදුව ඇති හිරිහැර හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි පීඩනයකට මෙන්ම විවේචනයන්ට ද ලක්වෙමින් ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් පැවසුවා. 

යුක්රේනය ඉලක්ක කර ආරම්භ කළ හමුදා මෙහෙයුම අසාර්ථක වුවහොත් රුසියානු ජනාධිපතිවරයාට බලය අහිමි වනු ඇති බව හා  ඔහුට සිය අනුප්‍රාප්තිකයා හෝ තෝරා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

කෙසේවෙතත් ගැටුම් නතර කිරීම සඳහා සාම ක්‍රියාවලියකට එක්වීමට රුසියාව යුක්රේනය වෙත තවත් එක් අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ අනුව සාම සාකච්ඡා සඳහා එළඹෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා රුසියාව යුක්රේනයට අද පස්වරු 03 දක්වා කාලය ලබාදී තිබුණා. එම කාලය ඇතුළත සාකච්ඡා සඳහා එකගවන්නේ නම් එම අවස්ථාවේදීම සාකච්ඡා සඳහා එළඹීමට සිය පාර්ශවය සූදානම් බවයි රුසියාව පැවසුවේ. 

ඒ වෙනුවෙන් රුසියාව අසල්වැසි බෙලරුසියාව තෝරා ගෙන ඇති අතර මේවනවිටත් රුසියාවේ නියෝජිත කණ්ඩායමක් බෙලරුසියාව බලා පිටත්ව ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් රුසියාවේ ආරාධනයට ප්‍රතිචාර දක්වමින් යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පැවසුවේ සිය පාර්ශවය ද සාම සාකච්ඡා සඳහා සූදානම් බවයි. 

එහෙත් එම සාකච්ඡා පැවැත්වෙන්නේ බෙලරුසියාවේ නම් තමන් ඒ සඳහා එකග නොවන බවයි යුක්රේන ජනාධිපතිවරයා පැවසුවේ. රුසියාව සමග එක්ව සිය රටට මිසයිල ප්‍රහාර එල්ල කරන බෙලරුසියාවේ සිට සාකච්ඡා පැවැත්වීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් එවැනි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා සුදුසු තවත් අසල්වැසි රටවල් ඇති බවත් යුක්රේන ජනාධිපතිවරයා රුසියාව හමුවේ අවධාරණය කළා.

 ඒ අනුව සාම සාකච්ඡාවකට එක්වන්නැයි රුසියාව දෙවන වරටත් කළ ආරාධනයට යුක්රේනයේ ප්‍රතිචාරය කුමක්ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නැහැ. 

කෙසේවෙතත් රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් හමුවේ ලක්ෂ 03 ක පමණ යුක්රේන ජාතිකයින් පිරිසක් රට අතහැර ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ.