Wednesday, May 15, 2024

General line - 0115112241

විදුලි කප්පාදුවෙන් ලංකාවේ ඔන්ලයින් බිස්නස් කඩා වැටේ




දිවයින පුරා සිදු කෙරෙන විදුලි කප්පාදුව හේතුවෙන් ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අතරින් කාගේත් ඇස නොගැටුනු ක්ෂේත්‍රයක් වන්නේ ශ්‍රී ලංකාවට විදේශ විනිමය ද ලැබෙන තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයයි. 

ඔන්ලයින් ව්‍යාපාර සිදුකරන පිරිස් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පැවසුවේ විදුලි කප්පාදුව හේතුවෙන් සිය රාජකාරීවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. මෙරට විදුලිය විසන්ධි කෙරෙන වේලාවන් ඇතැම් අවස්ථාවලදී විදෙස්ගත සේවා ලබා ගන්නා පුද්ගලයින්ගේ සහ ආයතනවල වැදගත්ම වේලාවන් බව ද ඔවුන් පැවසුවා. 

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සතු ඔන්ලයින් ව්‍යාපාර සහ සේවා විදෙස් රටවලට ඇදීයාමෙ අවදානමක් ඇති බවයි ඔන්ලයින් ව්‍යාපාර සිදුකරන පිරිස් සඳහන් කළේ. 

මේ පිළිබඳ කළ විමසීමකදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පැවසුවේ විදෙස් රටවල් සමඟ ආයෝජන කරන මෙම පිරිසට විදුලි කප්පාදුව හේතුවෙන් සිදුවන පාඩුව රටේ ආර්ථිකයට ද සෘජු ලෙස බලපාන බවයි. 

මෙරට විදුලි කප්පාදුව හේතුවෙන් විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාව සමග සිදුකෙරෙන ව්‍යාපාර කටයුතුද නතර වනු ඇති බවටයි සැක කෙරෙන්නේ. 

මේ හේතුවෙන් තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරත වන පිරිස් රට හැරයාමේ අවදානමක්ද පවතින බවයි ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පැවසුවේ.

මේ අතර අද දිනයේදී ප්‍රදේශ රැසකට පැය 7 ක කාලයක් ද සෙසු ප්‍රදේශවලට පැය 4 ක කාලයක් ද විදුලි කප්පාදුවක් සිදු වනවා. ඒ අනුව පැය 04 ක විදුලි කප්පාදුවක් සිදුවන ප්‍රදේශවලට පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා පැය 03 ක කාලයක් ද යළි සවස 06 යි 30 සිට රාත්‍රී 10 දක්වා පැයක කාලයක් ද විදුලිය කපා හැරෙනු ඇති. කොළඹ නගරයට අදත් විදුලිය විසන්ධි කරනු ඇති. 

සෙසු ප්‍රදේශවලට පෙරවරු 08 යි 30 සිට පස්වරු  04 යි 30 දක්වා පැය 4 කාලයක් ද පස්වරු 04 යි 30 සිට රාත්‍රී 10 යි 30 දක්වා පැය 03 කාලයක් ද විදුලිය කපා හැරීමට නියමිතයි. 

මේ අතර හෙට දිනයේ කලාප 03 කට පමණක් පැය 02 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කරනු ඇති.