Friday, May 3, 2024

General line - 0115112241

යුක්රේන - රුසියානු සාම සාකච්ඡා සඳහා පැමිණි ඔත්තුකරුවෙකු ඝාතනය කෙරේ




යුක්රේනයේ තවත් ප්‍රධාන වරාය නගරයක් අත්පත් කර ගැනීමට රුසියානු හමුදාව සූදානම් වනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි චෝදනා කළේ ඔඩෙසා වරාය නගරය අත්පත් කර ගැනීම රුසියාවේ මීලග ඉලක්කය බවයි. ඒ අනුව රුසියානු හමුදාව විසින් ඔඩෙසා වරාය නගරය ඉලක්ක කර ශෙල් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවට ද යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කළා. 

ඔඩෙසා වරාය නගරය කළු මුහුද ආසන්නයේ පිහිටා ඇති උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් පැරණි නගරයක් වනවා. කෙසේවෙතත් මේවනවිට රුසියාවේ අරමුණ වී ඇත්තේ කළු මුහුද ආසන්නයේ ඇති යුක්රේනයට අයත් දකුණු දිග වරාය නගරවල බලය අත්පත් කර ගැනීම බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ. 

මීට පෙර රුසියානු හමුදාව යුක්රේනයේ කර්සන් වරාය නගරය ද අත්පත් කර ගත්තා. ඔවුන් මේවනවිට සටන් වදිමින් සිටින්නේ යුක්රේනයේ මරිපෝල් නගරය අත්පත් කර ගැනීමටයි. පුද්ගලයින් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් මරිපෝල් නගරය තුළ සිරවී සිටින අතර ඔවුන්ට නගරයෙන් ඉවත් වීම සඳහා ලබාදුන් සටන්විරාම කාලය ද රුසියාව උල්ලංඝණය කළ වටයි චෝදනා එල්ල වුණේ. 

කෙසේවෙතත් අද දිනයේදී සිය ජීවිත බේරාගෙන පළා යාමට රුසියාව මරිපෝල් වැසියන්ට කාලය ලබාදී තිබෙනවා. ඒ අනුව අද උදෑසන 10 සිට රාත්‍රී 09 දක්වා යළිත් සටන් විරාමයක් ක්‍රියාත්මකයි. ඒ අනුව රුසියානු හමුදාවන්ගෙන් බේරී පළා යාමට මරිපෝල් වැසියන් උත්සහ කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර ඉකුත් දා පැවැති රුසියානු - යුක්රේන සාම සාකච්ඡා සඳහා යුක්රේනය නියෝජනය කරමින් සහභාගී වූ සාම නියෝජිතයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යුක්රේනය දියත් කළ හමුදා මෙහෙයුමකදී එම පුද්ගලයා ඝාතනය වී ඇති බවයි වාර්තා වන්නේ. එලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි හිටපු බැංකු සේවකයෙක්. 

ඔහු රුසියානු ඔත්තුකරුවෙකු බවට අනාවරණ වීම හමුවේ එලෙස ඝාතනය වී ඇති බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් අදාළ පුද්ගලය ඉකුත් දා පැවැති රුසියානු - යුක්රේන සාම සාකච්ඡා සඳහාද සහභාගී වූ නමුත් එහිදී ඔහු සිදුකළ කාර්යය භාර්යය කුමක්ද යන්න පැහැදිළි වී නැහැ. 

කෙසේවෙතත් අදාළ පුද්ගලයා යුක්රේන ඔත්තුකරුවෙකු බවටයි රුසියාව ද චෝදනා කරන්නේ. 
මේ අතර රුසියානු - යුකරේන සාම සාකච්ඡාවල තෙවන වටය හෙට පැවැත්වීමට නියමිතයි.