Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්ධන බැරලයක් ඩොලර් 300ක් දක්වා ඉහළ දමන්න රුසියාවේ සුදානමක්




බටහිර රටවල් තමන්ගෙන් තෙල් මිලදී නොගන්නේ නම් ගෑස් සැපයුමද නවතා දමන බවට රුසියාව අනතුරු අගවනවා. ඒ, රුසියාවෙන් සිදු කරන ඉන්ධන ආනයනය තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වන පසුබිමක් තුලයි. සිය රටෙන් ඉන්ධන මිලදී ගැනීම අත්හිටවුවහොත් ගෝලීය වෙළඳපොල බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙනු ඇති බව ද රුසියාව පැවසුවා. එය බොරතෙල් බැරලයක මිල ඩොලර් 300 කට වඩා ඉහල දැමීමට හේතු වන බවයි රුසියාව පවසන්නේ. 

රුසියාව ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිෂ්පාදකයා වන අතර ලොව දෙවන විශාලතම බොරතෙල් නිෂ්පාදකයායි. යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 40 ක් සහ බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 30 ක් සපයන්නේ රුසියාවයි.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි රුසියාවට අභියෝගයක් සිදු කර තිබෙනවා. ඒ, තමන් තවදුරටත් රුසියාවට බියෙන් සැගවී නොසිටින බව පවසමින්. ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයා තමන් සැගව සිටි බංකරයෙන් පිටතට පැමිණ මේ වනවිට කිව් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ රැදී සිටිනවා. එහි සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය හරහා පෙනී සිටිමින් ඔහු පැවසුවේ තමන් කිසිවෙකුටත් බිය නොමැති බවයි. 

එමෙන්ම ඔහු වීඩියෝ තාක්ෂණය හරහා සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් ජනාධිපති මන්දිරයේ සෑම ස්ථානයකම ගමන් කරන අයුරු ද විකාශය කර තිබුනා. කෙසේවෙතත් රුසියානු ගුවන් ප්‍රහාරවලින් මිදීම සදහා යුක්‍රේනය තුල ගුවන් යානා තහනම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා, අමෙරිකාව හමුවේ බැගෑපත් වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මෘගයෙකු ලෙස හැසිරෙන රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව සටන් නොවැදුනහොත් යුක්‍රේනය, රුසියාවට යටත් කර ගනු ඇති බවත්, අනතුරුව එම ඉරණම අමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයට අයත් රටවලටත් හිමි වනු ඇති බවත් යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පවසා තිබෙනවා.