Saturday, May 18, 2024

General line - 0115112241

ජනතාවට සහන සලසන වැඩ පිළිවෙලක් ඉල්ලා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට




වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා විධිමත් ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා. 

මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, එහි උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ලේකම් රජීව අමරසූරිය, භාණ්ඩාගාරික රජින්ද පෙරේරා සහ නියෝජ්‍ය ලේකම් පසිඳු සිල්වා යන අය විසින්. පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටින්නේ වර්තමානයේ රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදකාරි තත්වය හේතුවෙන් මහජනතාව මෙන්ම ව්‍යාපාරිකයින් දැඩි අසරණ භාවයකට පත්ව සිටින බවයි.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, භාණ්ඩාගාර ලේකම්වරයා,   ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එම බැංකුවේ මුදල් මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු පාර්ශව 42ක් නම් කර තිබෙනවා. 

ඛනිජ තෙල්, විදුලිබලය, ගෑස්, ආහාර, ඖෂධ, පිටිකිරි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල හිඟයක් පවතින බැවින් ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව සිටින බවයි පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ. මේ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දෙනවා. 

එබැවින් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සේ සැලකෙන ආහාර, ගෘහස්ථ ගෑස්, පිටිකිරි, විදුලිය, ඖෂධ වැනි ද්‍රව්‍ය හිඟයකින් තොරව සහ සහනදායි මිලට අඛණ්ඩව මහජනයා වෙත සපයා දීමට හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝග නිකුත් කරන ලෙයසි ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම පෙත්සම් වලින් ඉල්ලා තිබෙන්නේ. 

එමෙන්ම ආර්ථික විශේෂඥයින්, රාජ්‍ය ආයතන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ සාකච්ඡා කොට වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ඉවහල් කරගත හැකි කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව දේශීය කෘෂිකර්මාන්තය, කිරි නිෂ්පාදනය,  සත්ව නිෂ්පාදන ඉහළ නැංවීමේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙයසි එම පෙත්සම් මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.