Saturday, May 18, 2024

General line - 0115112241

TNA නියෝජිතයින් ජනපති හමුවෙයි - ප්‍රධාන කරුණු 05ක් ගැන සාකච්ඡා




තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකිචඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු”යැයි ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ට එහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශ පැවසුවේ.  

දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නොමැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියාකරමින් ඇති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා. තවදුරටත් එක්ව කටයුතු  කිරීමෙන් උතුරු - නැගෙනහිර ඇතුළු රටේ සමස්ත ජනතා අරමුණු ඉටුකර, රට සංවර්ධනය කරා ගෙන යා හැකි බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ. 

එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමගින් රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, දීර්ඝ කාලයක් වගා සඳහා යොදාගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශණයක් සිදු කිරීම, නව ව්‍යවස්ථාව දෙමළ සහ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පසු ඊට එක් විය යුතු සංශෝධන සාකච්ඡා කිරීම, උතුරු - නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම යන කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානයට යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, චමල් රාජපක්ෂ, අලී සබ්රි, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන එම්.ඒ. සුමන්දිරන්, චාල්ස් නිර්මලනාදන්, සිවඥානම් ශ්‍රීදරන්, ශානක්‍ය රාසමානික්කම්, සෙල්වම් අඩෙයිකලනාදන්, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.