Saturday, May 18, 2024

General line - 0115112241

IOC යට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග බැහැ - බලශක්ති අමාත්‍යාංශය කියයි




අයි ඕ සී සමාගම ඔවුන්ට අවශ්‍ය පරිදි ඉන්ධන මිල වැඩි කළ ද, එම සමාගමට එරෙහිව කිසිඳු නෛතික ක්‍රියාමාර්ගයකට එළඹීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ 2006 වසරේ අයි ඕ සී සමාගම, මුදල් අමාත්‍යංශය සමග අත්සන් කළ එකගතා ගිවිසුමකට අනුව එම සමාගමට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමේ හැකියාව පවතින බවයි. 

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ ගිවිසුම කඩකරමින් අයි ඕ සී සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත්නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

මෙරට ඉන්ධන මිල ගණනය කරනු ලබන්නේ ක්‍රමවේදයකට අනුවයි. ඒ අනුව වරාය ගාස්තු, ණය පොලිය, ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ගණන්, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, බෙදාහැරීම් නියෝජිතයින්ගේ ගාස්තු, ඩොලරයේ අගය සහ ලාභය යන කරුණු අනුව අයි ඕ සී සමාගම සහ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් තීරණය කරනු ලබනවා. 

එහෙත් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් තීරණය කරනු ලබන්නේ ආණ්ඩුවේ මැදිහත්වීමෙන්.  එබැවින් ඉන්ධන බෙදාහැරීමේදී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට යම් අලාභයක් සිදුවුවත් ආණ්ඩුවේ මැදිහත්වීමකින් තොරව ඉන්ධන මිල ඉහළ දැමීමට එම සංස්ථාවට අවසර හිමිවන්නේ නැහැ.