Saturday, May 18, 2024

General line - 0115112241

අදත් ගෑස් සිලින්ඩර් එක්ලක්ෂ දසදහසක් වෙළදපොළට




අද දිනයේ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක්ලක්ෂ 10,000 ක් වෙළඳපලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. සාමාන්‍යයෙන් ඉරිදා දිනයන්හිදී ගෑස් සිලින්ඩර වෙළඳපලට නිකුත් කරන්නේ නැහැ. එහෙත් වෙළඳපලේ පවතින ගෑස් හිගය හේතුවෙන් අද දිනයේ මෙලෙස ගෑස් සිලින්ඩර එක්ලක්ෂ 10,000 ක් වෙළඳපලට නිකුත් කරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. 

ඉකුත් දා එම සමාගම සඳහන් කළේ වෙළඳපලේ පවතින ගෑස් හිගය හෙට දිනයෙන් අවසන් වනු ඇති බවයි. ඒ, ඉකුත් දින කිහිපයේම දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක්ලක්ෂ 20,000 බැගින් වෙලඳපලට බෙදා හැරීම හේතුවෙන්. 

කෙසේවෙතත්, අද දිනයේ ද ගෑස් ලබාගැනීමට ජනතාව පෝළිම් වල රැඳී සිටිනු ප්‍රදේශ කිහිපයකදීම දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මේ අතර හෙම්මාතගම සහ හැටන් යන ප්‍රදේශවල ගෑස් අලෙවි නියෝජිතයින් දෙදෙනෙකුගේ නියෝජිත ධූරය තාවකාලිකව අත්හිටුවීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ, කිලෝග්‍රෑම් 12 යි දශම 5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම හේතුවෙන්. ඒ අනුව ලිට්‍රෝ සමාගමේ අනුමත මිල ඉක්මවා පාරිභෝගිකයින්ට ගෑස් සිලින්ඩර අලෙවි කරන බවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. 

මේ අතර අද දිනයේද ගෑස් මෙටි්‍රක් ටෝන් 3,500 ක් රැගත් නෞකාවක් මෙරටට ළගා වීමට නියමිත ඇතැයි ලිට්රෝ සමාගම පැවසුවා. පවතින ගෑස් තොග සති දෙකක කාලයකට ප්‍රමාණවත් බැවින් අනවශ්‍ය කලබලයකින් තොරව ගෑස් මිලදී ගන්නා ලෙසයි ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.