Friday, May 3, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍යධූරය අහිමි වෙයි




ඉම්රාන් ඛාන් පකිස්තාන අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කෙරුණා. ඒ, ඔහුට විරුද්ධව පකිස්තාන විපක්ෂ කණ්ඩායම් එක්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඉම්රාන් ඛාන් අපොහොසත්වීම හේතුවෙන්. ඒ අනුව විශ්වාසභංගයක් හමුවේ ධූරය අහිමිවූ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙසයි ඉම්රාන් ඛාන් එරට ඉතිහාසයට එක්වන්නේ. 

ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පකිස්තාන පාර්ලිමේන්තුවේදී ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවැත්වුණා. එහිදී විශ්වාසභංගයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 174 ක්. 

කෙසේවෙතත් ඉම්රාන් ඛාන් පැවසුවේ විපක්ෂය ක්‍රියාත්මක කරන්නේ අමෙරිකාවේ කුමන්ත්‍රණයක් බවයි. ආනයනික රජයක් පකිස්තානයට අවශ්‍ය නොවන බවත්, එවන් ආණ්ඩුවක් පිළිගැනීමට තමන් කිසිසේත් සූදානමක් නොමැති බවත් ජාතිය අමතමින් ඉම්රාන් ඛාන් ඊයේ රාත්‍රියේ අවධාරණය කළා.  

මේ අතර පකිස්තානයේ මීලග අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම හෙට දිනයේ එරට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරා එරට මීළග අග්‍රාමාත්‍යවරයා වනු ඇති බවටයි මේවනවිටත් පූර්ව මත පළ වන්නේ. 

පකිස්තානයේ මිළග මහ මැතිවරණය 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එතෙක් පකිස්තානයේ බලය හෙබවීමට නව අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව උදා වනු ඇති. 

1947 සිට මේ දක්වා කාලය තුළ අග්‍රාමාත්‍යවරුන් 29 දෙනෙකු පකිස්තානයට නායකත්වය ලබාදී තිබෙනවා. ඒ, එකම පුද්ගලයා වසර 02 ක් හෝ 03 ක් අග්‍රාමාත්‍යධූරයට පත්වූ පසුබිමක් තුළයි. එහෙත් එම කිසිඳු අග්‍රාමාත්‍යවරයෙකු පස් වසරක් වූ සිය සම්පූර්ණ ධූර කාලය තුළ බලයේ රැඳී සිටීමට සමත් නොවීම විශේෂත්වයක්. 

දූෂණ චෝදනා, හමුදා කුමන්ත්‍රණ සහ පාලන කණ්ඩායම්වල අර්බුද හේතුවෙන් බලහත්කාරයෙන් ඉල්ලා අස්වීම්, ඝාතනය කිරීම් ඇතුළු විවිධ තත්වයන් යටතේ අවස්ථා 18කදී පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරුන්ට සිය ධූරය අහිමි වී තිබෙනවා.