Friday, May 3, 2024

General line - 0115112241

වැසි නොතකමික් ජනතාව තවදුරටත් ඉන්ධන හා ගෑස් පෝලිම්වල

ජූඩ් සමන්ත




ඇදහැලෙමින් ඇති මහ වැසිද නොතකා අද අලුයම් කාලයේ සිට ඉන්ධන ලබාගැනීම සදහා ජනතාව ඉන්ධන පිරවුම්හල්වල පෝළිම්වල රැදීසිටින බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. 

ඩීසල් ලබාගැනීමට පැමිණි පිරිසක් ආණමඩුව නගරයේදී අද පෙරවරුවේ විරෝධතාවකද නිරත වුණා. ආණමඩු - කුරුණෑගල මාර්ගය අවහිර කරමින් ඔවුන්  සිය වාහන මෙන්ම ඉන්ධන ලබාගැනීමට රැගෙනවිත් තිබූ කෑන්වලින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුද පැය කිහිපයක් සම්පුර්ණයෙන්ම ඇනහිටියා. විරෝධතාවයේ නිරත වූ පිරිස් පැවසුවේ එම ඉන්ධන පිරවුම්හලට දින 10 ක සිට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩිසල් ලබා දී නොමැති බවයි. 

කෙසේවෙතත් ආණමඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ පිළිබද ඛනිජ තෙල් බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු අද දිනයේ ඩීසල් රැගත් බවුසරයක් එම ඉන්ධන පිරවුම්හලට ලබාදෙන බව පැවසීමෙන් පසු එම විරෝධතාවය නතර කල බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර දංකොටුව නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ඩීසල් ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු පෝලීමේ රැදී සිටියදී ඇද වැටී මියගොස් තිබෙනවා. ඔහු දංකොටුව දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් සදහන් කළේ. 

ලොරි රථ රියදුරෙකු වන ඔහු ඇදවැටී මියගොස් ඇත්තේ ඊයේ රාත්‍රියේයි. වයස අවුරුදු 43 ක් වූ මියගිය පුද්ගලයා දංකොටුව, ගෝනාවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. 

මේ අතර ඇදහැලෙන වැසි නොතකා ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීම සදහා ද බොහෝ අළෙවිසැල් ඉදිරිපිට ජනතාව මේ වනවිටත් පෝලීම්වල රැදී සිටිනවා. ඇතැම් පිරිස් අද අළුයම් කාලයේ සිට පෝලීම්වල රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.