Friday, May 3, 2024

General line - 0115112241

තිස් තුන් පැයක් ගතවුවත් නොසෙල්වුණු ජන අරගලය (PHOTOS)




ඇදහැලෙන වැසි ද නොතකා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට ඊයේ රැස්වූ පිරිසෙන් කොටසක් තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා. නිර්පාක්‍ෂික ජනතා අරගලය ලෙස නම් කර ඇති එම විරෝධතාව ආරම්භ වූයේ ඊයේ උදෑසනයි. තවදුරටත් එම ස්ථානයේ ප්‍රදේශ රැසකින් පැමිණි ආගමික නායකයන්ද සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. රට තුළ උද්ගතවී ඇති අර්බුදවලට විසදුම් ඉල්ලායි ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වන්නේ.

විරෝධතාවයේ නිරත පුද්ගලයෙකු ද මෙලෙස අදහස් පළ කළා.

මේ අතර විරෝධතාවයේ නිරතව සිටි ඉස්ලාම් ජාතිකයින් එම ස්ථානයේදීම ආගමික වතාවත්වල නිරත වු අතර ජාතික ධඡද අතැතිව මෙරට සංචාරයේ නිරතව සිටින විදේශිකයන් කිහිප දෙනෙකු ද එම ස්ථානයේ රැදී සිටි බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

විරෝධතාවයේ නිරත වන පිරිස අවශ්‍ය ආහාරපාන විවිධ පාර්ශව විසින් එම ස්ථානයට පැමිණ බෙදාදෙන ආකාරයක්ද දැකගත හැකි වු බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය පිරිසිදු කිරීමටද විරෝධතාවයේ නිරත වූ පිරිස කටයුතු කර තිබෙනවා.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවට සිය පාර්ශවයේ දායකත්වයද ලබාදිය යුතු බවයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ ප්‍රකාශ කළේ.  

මේ අතර මොරටුව ප්‍රදේශයේ හෝටලයක පැවති සංගීත සංදර්ශනයකදී ඊට සහභාගි වූ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර තිබෙනවා. එලෙස පහරදී ඇත්තේ මොරටුව මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මීට පෙර තරග වැදුණු පුද්ගලයෙක්. 

රෝහිත ප්‍රනාන්දු වන ඔහු සාමවිනිසුරුවරයෙකුද බව සදහන්. ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් පැවති සංගීත සංදර්ශනය අතරතුරදී සංගීත කණ්ඩායම විසින් එය නැරඹීමට පැමිණි පුද්ගලයන්ගෙන් දැන් සැපද යනුවෙන් විමසා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. පැමිණි සිටි පිරිසද ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර ඉන් අනතුරුව රෝහිත ප්‍රනාන්දු වන සැකකරු විසින් සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි පුද්ගලයෙකුට එලෙස තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. 

බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා මේ වනවිට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා. කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරු මොරටුව මෝදර පොලීසිය විසින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. 
 

 

(ජායාරූප : තිලින කළුතොටගේ / සමාජ මාධ්‍ය ඇසුරෙන්)