Thursday, May 9, 2024

General line - 0115112241

බඩඉරිගු සහ සෝයා බෝංචි තොග ඇත්නම් දැනුම් දෙන්න - ත්‍රිපෝෂ සමාගම ගොවීන්ගෙන් ඉල්ලයි




බඩඉරිගු සහ සෝයා බෝංචි තොග ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ත්‍රී පෝෂ සමාගම ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා. නිසි ප්‍රමිතියෙන් යුත් බඩඉරිගු තොග නොමැතිවීමෙන් ත්‍රී පෝෂ නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ත්‍රී පෝෂ සමාගමේ ප්‍රකාශකයෙකු වෙත් නිවුස් වෙත පැවසුවේ. 

පවතින ගැටළු කිහිපයක් හමුවේ ත්‍රී පෝෂ නිෂ්පාදනයට සුදුසු නිසි ප්‍රමිතියෙන් යුත් බඩඉරිගු තොග ආනයනය කිරීමට හැකියාවක් මේවනවිට නොමැති බව ද ඔහු සඳහන් කළා. එලෙස නියමිත ප්‍රමිතියෙන් යුතු බඩඉරිගු ඇති එක් රටක් වන්නේ යුක්රේනයයි. 

ත්‍රී පෝෂ නිෂ්පාදනය සඳහා සුදුසු ප්‍රමිතියෙන් යුත් බඩඉරිගු තොගයක් ආනයනික සමාගමක් විසින් මීට පෙර යුක්රේනයෙන් ඇනවුම් කර තිබෙනවා. එහෙත් රුසියානු - යුක්රේන අර්බුදයේදී එලෙස ඇනවුම් කර තිබූ බඩඉරිගු තොග සහිත නෞකාවක් නැංගුරම් ලා තිබූ යුක්රේන වරායකට ප්‍රහාර එල්ල වීම හේතුවෙන් එම නෞකාව විනාශ වී ඇති බවයි ත්‍රී පෝෂ සමාගමේ අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ. 

ඒ හමුවේ අදාළ බඩඉරිගු තොගය ද ශ්‍රී ලංකාවට නොලැබීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. කෙසේවෙතත් ඉන්දියානු ණය ආධාර යටතේ නියමිත ප්‍රමිතියෙන් යුත් බඩඉරිගු තොගයක් මෙරටට ආනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මෙරට ත්‍රී පෝෂ නිෂ්පාදනය සඳහා මාසිකව අවශ්‍ය බඩඉරිගු ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 1500 ක්. ඒ අනුව දෛනික අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 50 ක් පමණ වන බවයි ත්‍රී පෝෂ සමාගමේ අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර පවතින බඩඉරිගු හිගය හේතුවෙන් ත්‍රී පෝෂ නිෂ්පාදනය සඳහා ඉදිරියේදී වෙනත් ආදේශකයක් භාවිතා කිරීමට සිදුවන බවයි පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවේ.