Monday, May 13, 2024

General line - 0115112241

විරෝධතාවලදී ක්‍රියාකළ යුතු ආකාරය ගැන පොලීසියට නව නිර්දේශ මාලාවක් ලබාදීමට මානව හිමිකම් කොමිසමේ අවධානය




මානව හිමිකම් ආරක්‍ෂා කරමින් විරෝධතාවලදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නව නිර්දේශ මාලාවක් පොලීසියට ලබාදීමට මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුවී තිබෙනවා. එම කොමිසමේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ විරෝධතාවලදී පිළිගත් මානව හිමිකම් අනුව කටයුතු කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අවශ්‍ය බවයි. 

ඉකුත්දා රඹුක්කන පැවති විරෝධතාවයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයා එම කොමිසමට කැඳවා තිබුණා. එහිදී ද විරෝධතාවලදී පොලීසිය ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. 

ඒ අනුව මානව හිමිකම් කොමිසම සකස් කරන නිර්දේශ අනුව ඉදිරියේදී කටයුතු කිරීමට පොලිස්පතිවරයා ද එකඟතාවය පළ කළ බවයි එම කොමිසමේ උසස් නිලධාරියා පැවසුවේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අද දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශණයේ වාර්තාවක් අද දිනයේ මානව හිමිකම් කොමිසම වෙත ලබාදීමට නියමිත බවයි වාර්තා වුණේ.

රඹුක්කන විරෝධතාවය පාලනය කිරීමට වෙඩි තැබීම සඳහා උපදෙස් ලබාදුන් බවට චෝදනා එල්ලවී ඇති ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කේ ඩබ්ලිව් කීර්තිරත්නට ලබන 28 වනදා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා. ඒ, එම සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහායි.