Monday, May 13, 2024

General line - 0115112241

හිටපු මහ බංකු අධිපතිට අධිකරණයෙන් ලැබුණු නියෝගය




හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුදල්  අවභාවිතාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

එමෙන්ම හිටපු මහා බැංකු අධිපතිවරයාට ජුනි මස 7 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් සිතාසි ද නිකුත් කරනු ලැබුවා. ඉන් අනතුරුව ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් තවත් නියෝගයක්ද මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළා.

2006 වසරේ ජුලි මස පළ වන දා සිට 2015 වසරේ ජනවාරි මස 8 වනදා සිට 2015 වසරේ ජනවාරි මස 08 වනදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අමාත්‍ය මණ්ඩල හෝ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමරිකානු එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට ශ්‍රී ලංකා ජනරජයේ මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් ගෙවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අජිත් නිවාඩ් කබ්රාල් සාපරාධී වරදක් සිදු කර ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ අධිකරණය හමුවේ කරුණු දැක්වා සිටියා.

ඒ අනුව විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් එහි මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මැයි මස දෙවන දා තෙක් විදේශගත වීම වළක්වාලමින් ඉකුත්දා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.