Friday, May 17, 2024

General line - 0115112241

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්




රඹුක්කන ප්‍රදේශයේ ඉකුත්දා පැවති මහජන විරෝධතාව පාලනය කිරීම සදහා වෙඩි තැබීමට අණදුන් සහ වෙඩි තැබූ සියළු පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට අද නියෝග කළා. කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ එම නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ, එම සිද්ධියට අදාළ නඩුව තුන්වන දිනටත් අද කැඳවූ අවස්ථාවේදියි. 

ඉන්ධන පිරවුම්හලක ඩීසල් බෙදා හැරීම සම්බන්ධයෙන් මතු වූ ගැටළු සහගත තත්ත්වයක් හේතුවෙන් රඹුක්කනදී ඉකුත් 19 වනදා පිරිසක් විරෝධතාවයක නිරත වුණා. විරෝධතාකරුවන් දුම්රිය මාර්ගය හරස් කිරීම හේතුවෙන් දුම්රිය ධාවනයට ද එදින බාධා එල්ල වී තිබුණා. 

එම විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. තවත් සිවිල් පුද්ගලයින් 10 දෙනෙකු ද එහිදී තුවාල ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. විරෝධතාවයේ දී පොලිස් නිලධාරීන් දස දෙනෙකු ද තුවාල ලැබුවා.

මේ අතර රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සිය සංගමය විශේෂ අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා. මහජන මතයට ඇහුම්කම් දෙමින් බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවට රජය වෙත දිගින් දිගටම සිය සංගමය පන්වා දුන්නද එම කරුණු නොසලකා කිසිදු සංවේදී භාවයකින් තොරව කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇති බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පැවසුවේ. 

මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවීමට රජය විසින් තරයේ වග බලා ගත යුතු බවයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.