Saturday, May 4, 2024

General line - 0115112241

ෆොන්සේකා - හරීන් ආරවුලේ හේතුව හෙළිවෙයි




කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති සමගි ජනබලවේගයේ මැයි දින රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර ඇති වූ බහින්බස්වීමට හේතුව කථික ලැයිස්තුව සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මැයි රැළිය අමතමින් සිටින අතරතුර සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අතර එම බහින්බස්වීම සිදුවන ආකාරය දැකගත හැකි වුණා. 

එහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කැදවා විමසා ඇත්තේ කථික ලැයිස්තුව පිළිබදවයි. තමන්ට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙර කතාව ලබානොදීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා එහිදී දොස් පවරා ඇති අතර ඊට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද දැඩිව ප්‍රතිචාර දක්වා ඇති බවයි වාර්තා වුණේ. 

කථික ලැයිස්තුවට අනුව විපක්‍ෂ නායකවරයාට පෙර  හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ කතාව ඇතුළත් කර තිබුණු බවද වාර්තා වුණා.

කෙසේවෙතත් මෙම සිද්ධියෙන් පසු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට තමන්ට පෙර කතාව ලබාදීමටයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පියවර ගෙන ඇත්තේ.