Monday, May 20, 2024

General line - 0115112241

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි : හිටපු ඇමතිවරුන් රැසකගේ නිවාසවලට දැඩි හානි




අරලියගහ මන්දිරය ඉදිරිපිට ඊයේ පස්වරුවේ සිට පැවැති මහජන විරෝධතා අද අලුයම් කාලය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. විරෝධතාකරුවන් අවස්ථා කිහිපයකදී අරලියගහ මන්දිරයේ ගේට්ටු බිඳදමා ඊට ඇතුළුවීමට උත්සහ කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. 

තත්ත්වය පාලනය කිරීමට යුධ, ගුවන් සහ නාවික හමුදා භට කණ්ඩායම් ද කැඳවා තිබුණා. විරෝධතාකරුවන් පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් ද සිදුකළා. අද අලුයම 02 ට පමණ අතිරේක හමුදා බලඇණි 03 ක් කැඳවා අරලියගහ මන්දිරය වටකර සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගත් බවයි එහි සිටි පිරිස් නෙත් නිවුස් වෙත කියා සිටියේ. තත්ත්වය පාලනය කිරීම සඳහා අවසන් වරට එම ස්ථානයට කැඳවා ඇත්තේ ගජබා රෙජිමේන්තුවේ භට කණ්ඩායමක් බවට ද තොරතුරු වාර්තා වුණා.

අද අලුයම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

මේ අතර දිවයින පුරා ඊයේ රාත්‍රී කාලයේදීත් ප්‍රචණ්ඩ කාරී ක්‍රියා රැසක් වාර්තා වුණා. හම්බන්තොට, මැදමුලන, ප්‍රදේශයේ ඉදිකර ඇති ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරය කිසියම් පිරිසක් විසින් කඩා දමා තිබෙනවා. වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසල ඊයේ රාත්‍රීයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ. වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට ගිනි තැබීම සඳහා පිරිසක් පැමිණි අවස්ථාවේදී එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ගමන්ගත් මෝටර් රථයකට මාකුඹුර ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වි තිබෙනවා. එහිදී සුළු තුවාල ලැබූ මන්ත්‍රිවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ.  

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි නිවාස 02 කට විරෝධතාකරුවන් ගිනිතබා තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ අලව්ව මහරච්චිමුල්ල නිවසට ද කිසියම් පිරිසක් ගිනිතබා තිබෙනවා. 

ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත් කුමාරගේ නිවසට ද ඊයේ රාත්‍රියේ කුපිත වූ පිරිසක් පහර දී තිබුණා. එහිදී තුවාල ලැබූ ප්‍රාදේශීය සභා සභාපතිවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තකාරු පැවසුවේ. අදාළ නිවසට පහරදීමට පැමිණි පිරිසකට ද සභාපතිවරයාගේ අධාරකරුවන් පහරදී තිබෙනවා. එහිදී තුවාල ලැබූ 03 දෙනෙකු ඉමදූව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක්අයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

මේ අතර හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිලෙම්න්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාස සහ දේපළවලට විවිධ පුද්ගලයින් විසින් අලාභහානි සිදුකර තිබුණා.  

හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කණක හේරත්, එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන, 
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චිගේ නිවාසවලට ද විරෝධතාකරුවන් දැඩි අලාභහානි සිදකර තිබෙනවා. අනුරාධපුර ඥාණා මෑණියන්ගේ නිවසට ද පිරිසක් ගිනිතබා තිබෙනවා.