Monday, May 20, 2024

General line - 0115112241

රටම ගිනි ඇවිලෙවූ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දේශපාලඥයින් අත්අඩංගුවට ගන්නේ කවදාද ?




දින 31ක් පුරාවට ඉතා සාමකාමීව පැවති පැවති ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම අරගල භූමියට ඊයේ දිනයේදී පොදුජන පෙරමුණේ සංවිධානාත්මක මැරයින් විසින් පහර දීම සම්බන්ධයෙන් මේ වන විට රට දැඩි ව්‍යාකූලත්වයකට පත්ව ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලමින් ඔහුට සහය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් කුපීත කළේ කවුරුන්ද  ? 

එලෙස පැමිණි පිරිස් කුපිත කිරිමට මුලිකත්වය ගෙන කටයුතු කළ එක් පුද්ගලයෙකු වුයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුය. 

ඔහු විසින් අරලියගහ මන්දිරයේ සම්මන්ත්‍රණ ශාලාවේ රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ " ජනාධිපතිතුමාට බැරිනම් අපිට භාර දෙන්න, ඔය ගෝඨා ගෝ ගම අයින් කරන්න මේ හොඳම වෙලාව" යැයි කියමින් පැමිණ සිටි පිරිස් පළමුව කුපිත කිරීම ආරම්භ කරන ලදී.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට මාස කිහිපයකට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී කියා සිටියේ කාක්කෙක් මරා තට්ටක් එල්ලුවානම් මේ සියලු විරෝධතා පාලනය කළ හැකි බවයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට වැරදුණ තැන එතැනය. ඒනම්, අරගලය ඇත්තේ ගෝල්ෆේස් භුමියේ යැයි ඔහු සිතුවත්, සත්‍ය වශයෙන්ම අරගලය පැවතියේ සමස්ථ රට වැසියන්ගේ සිත් තුළ බව ඔහු ඇතුළු සියලුම දේශපාලඥයින් විසින් ඊයේ තේරුම් ගන්නට ඇතිය.

අරලියගහ මන්දිරයට ඊයේ රැස්වූ බොහෝ ආධාරකරුවන්ට එසේ නොපැමිණියොත් සමෘද්ධිය කපා හරින බවට තර්ජනය කර තිබු බවයි දැන් හෙළිවී ඇත්තේ.

පාදඩ දේශපාලඥයින් විසින් බලලෝභිත්වය පෙරටු කර ගනිමින් සිදුකරන මෙවැනි දේ නතර කිරීමට කාලය දැන් එළඹ ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි දේශපාලඥයින් නැවත දේශපාලන ප්‍රවාහයට ගෙන නොඒම සියලු දෙනාගේ වගකීමය.

එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මෙම මිලේච්ජ ප්‍රහාරයට උඩ ගෙඩි දුන් දේශපාලඥයින්ට සහ ඊට ඉහළින් සිටින දේශපාලන බල අධිකරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවේද ?

රටක් ගිනි ඇවිලෙවූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ කවදාද ?