Saturday, May 18, 2024

General line - 0115112241

අගමැති රනිල්ට ආගමික නායකයින් ගේ ආශිර්වාදය - නව කැබිනට්ටුව වෙසක් පෝදා දිවුරුම් දෙන ලකුණු




ආර්ථික අර්බුදය විසදීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු ආශිර්වාද ලබාගැනීම සඳහා ගංඟාරාම විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්  දුරකතනයෙන් අමතා ආශිර්වාද පළ කර තිබෙනවා. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සුබපතා ඇති බවයි වාර්තා වන්නේ. අස්ගිරි මහා විහාරයේ ලේකඛාධිකාරී පුජ්‍ය මැදගොඩ ධම්මානන්ද හිමියන් පැවසුවේ සියලු පාර්ශව එකමුතුව මේ මොහොතේ රට වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් ද අදහස් පළ කළා.


මහනුවර අන්තර් ආගමික කමිටුවේ සාමාජික රසික ජයරත්න දේවගැතිතුමන් ද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

 

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සමඟ කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි ඇය පවසා ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුවන ගණුදෙනු යථාවාදී ලෙස සිදු කර ශ්‍රී ලාංකිකයින් මුහුණදී සිටින ගැටුම්වලට විසදුම් ලබාදේ යැයි බලාපොරොත්තු වන බවද ඇය පවසනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා. ඔහු පවසන්නේ, සිය රට ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකින් පත් වූ නව අග්‍රාමාත්‍යවරයා සමග ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද මහ කොමසාරිස්වරයා පවසා තිබෙනවා.

මේ අතර නව කැබිනට් මණ්ඩලය පත් කිරීම බොහෝ දුරට වෙසක් පොහොදා සිදුවනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. අමාත්‍යවරුන් 15 ත් 20 ත් අතර සංඛ්‍යාවක් ඊට ඇතුලත්වනු ඇති බවටද වාර්තා පළ වනවා.