Saturday, May 18, 2024

General line - 0115112241

තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල්ගේ සහයට




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීරණයක් ගත්ත ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තමන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඊයේ සඳහන් කළා. 

මේ අතර අද උදෑසන 09ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ඒ, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේ.

මේ අතර ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම හදිසියේ අවලංගු කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම දේශපාලන මණ්ඩල රැස්වීමේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.