Saturday, May 18, 2024

General line - 0115112241

ඊයේ රාත්‍රීයේ වැසි තත්ත්වයේ අඩුවක් : ප්‍රදේශ කිහිපයකට බලපෑ ගංවතුර අවදානම පහවෙයි




ප්‍රදේශ කිහිපයක ඇතිව තිබූ ගංවතුර තත්ත්වයන් මේ වන විට පහව යමින් තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. පැවති වැසි තත්ත්වයේ අඩුවක් ඊයේ රාත්‍රීයේ සිට දක්නට ලැබෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කළේ.  

කෙසේවෙතත් දිස්ත්‍රික් කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බල පැවැත්වෙනවා. ඒ, අද පස්වරු 05 දක්වායි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කළවාන සහ පැල්මඬුල්ල යන ප්‍රදේශ සඳහා නිකුත් කළ අදියර තුන යටතේ වන ඉවත්වීමේ රතු නිවේදනය තවදුරටත් වලංගු වනවා.

මේ අතර කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශය මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැළියගොඩ, කොළොන්න, අයගම, ඇළපාත, බලංගොඩ, ඉඹුල්පේ, ගොඩකවෙල, කිරිඇල්ල, නිවිතිගල සහ කහවත්ත යන ප්‍රදේශවලට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දෙන ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනය ද තවදුරටත් වලංගු වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර කලුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයකට විමසිලිමත්ව සිටින ලෙසට නිකුත් කළ කහ වර්ණයෙන් යුත් නිවේදනය ද තවදුරටත් වලංගු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර අද දිනයේත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටයි. 

මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.