Saturday, May 18, 2024

General line - 0115112241

ඉදිරි දින 03 ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසෙන්න එපා - ඇමති දැනුම් දෙයි

රවීන්ද්‍ර චන්ද්‍රලාල් / කාංචන කුමාර / හේරත් ඒකනායක / ජූඩ් සමන්ත




ඉදිරි දින 03 ගත වෙන තෙක් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මහජනතාවට දැනුම් දී සිටිනවා.

ඉදිරි සති 02ක තුලදී ඉන්දීය ණය පහසුකම් යටතේ දිවයිනට ඉන්ධන නෞකා 03ක් ළඟා වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190ක් සඳහා ඉන්ධන නිකුත් කිරීම ඉදිරි දින 03 තුල දී සිදුකරන බවත් ඒ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල නොසිටින ලෙසයි අමාත්‍යවරයා මහජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ.

විදුලි බලාගාර සදහා ඩීසල් තොග ලබා දීමේ අවශ්‍යතාවයද ඉදිරි දින පහ තුළ අවසන් වනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ. ඊට හේතු වී ඇත්තේ දැවි තෙල් තොගයක් රැගත් නෞකාවක් ඉදිරි දින පහ තුළ දිවයිනට ළගා වීමට නියමිතව තිබීමයි. එලෙස දිවයිනට ළගා වීමට නියමිත ඉන්ධන නෞකා සදහා අවශ්‍ය ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් අද උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවති බවද වාර්තා වුණා. 

මේ අතර ඊයේ දිනයේ මෙරටට ලැබුණු ඩීසල් තොග බෙදා හැරීම අද උදෑසන ආරම්භ වී තිබෙනවා. ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ කොළඹින් පිට ප්‍රදේශවලට අද පස්වරුව වන විට එම ඩීසල් තොග ලැබෙනු ඇති බවයි.   

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තවදුරටත් ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. ඩිසල් නොමැති වීම හේතුවෙන් පුද්ගලික බස්රථ ධාවනය අවම මට්ටමක පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ගාල්ල සහ අවට ප්‍රදේශවල පවතින තත්ත්වය පිළිබද තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.    

බස් රථ ප්‍රමාණවත් පරිදි ධාවනය නොවීම හේතුවෙන් විශාල පිරිසක් දඹුල්ල නගරයේ රැදී සිටින බව නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවා.  

මහ නුවර සහ අවට ප්‍රදේශවල තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායකගෙන්.     

පුත්තලම සහ අවට ප්‍රදේශවල තොරතුරු සොයා බැලුවා. නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත.    

ප්‍රමාණවත් පරිදි ඩීසල් තොග ලැබෙන තෙක් පුද්ගලික බස්රථ ධාවනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.