Saturday, May 18, 2024

General line - 0115112241

පාඨලී ගෙන් අගමැතිට ලිපියක්




නව ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් පැහැදිළි කරන ලෙස ඉල්ලා 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රිමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

ආර්ථික හා දේශපාලන අර්බුදයක් උත්සන්න වූ මොහාතක රටේ වගකීම දැරීම අතට ගත යුතු බොහෝ දෙනා විවිධ හේතු දක්වමින් මගහරිද්දී ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරිපත්වීම අගය කරන බවයි එහි දක්වා ඇත්තේ.  අග්‍රාමාත්‍යවරයා  විසින් පැහැදිලි කළ යුතු කරුණු පහක් සහ යෝජනා හයක්ද පාර්ලිමේනතු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යොමු කළ ලිපියේ දැක්වෙනවා. 
උපුටා ගැනීම 

“රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමට හේතු වූ රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා උද්ගත වූ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වූයේ තරුණයින්ගේ අරගලයත් සමගමය. මේ අරගලය තුල ඉස්මතු වූයේ ආර්ථික සටන් පාඨවලටත් වඩා දේශපාලන සටන්  පාඨ බව බැහැර කළ නොහැකි යථාර්ථයකි. රාජපක්ෂවරුන් බලය අත්හැරීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, දූෂණයට මංකොල්ලයට වැට බැඳීම, අචාර ධාර්මිකව හැසිරෙන දේශපාලන ප්‍රජාවක්  ගොඩනැගීම, ජාති ආගම් භේද වලින් තොර මානව ගරුත්වය සුරැකෙන පුරවැසි ජනරජයක් ගොඩ නැගීම ආදිය මේ සටන් පාඨවල සාරාර්ථය ලෙස දැක්විය හැකිය.  

ඔබ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ එම දේශපාලන අරගලය තීව්‍ර වීමේ ක්‍රියාදාමයක ප්‍රතිපලයක් වශයෙනි. එහෙයින් ”ගෝඨාගෝගම” අරගල බිමෙන් මතු වූ දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔබ දක්වන ප්‍රතිචාරය පැහැදිලි, සංගත හා විනිවිද පෙනෙන්නක් ලෙස රට හමුවේ වහාම ඉදිරිපත් විය යුතුය යන්න අපගේ අදහසය. ” ගෝඨාගෝගමට ආරක්ෂාව සපයන්නේය” යන සරල ප්‍රකාශයක් ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

අතැම් නායකයන් මේ අවස්ථාවේ ප්‍රායෝගිකව කළ  නොහැකි මැතිවරණ සහ ජනවරම් ඉල්ලා සිටිද්දී, මේ අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව වගකීම අතට ගත් තාවකාලික අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිට විය යුතුබව අප දිගින් දිගටම දැරූ මතයයි.

එහෙයින් එවැනි ආණ්ඩුවක්  බිහිවන්නේ නම් එවැන්නකට සහයෝගය ලබා දීම අපගේ යුතුකමය. ඔබ තුමන් විසින් නායකත්වය දෙන්නට සැරසෙන ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් බවට පත්වීමට නම් තරුණයින්ගේ අරගල බිමෙන් මතු වූ ඉහත දක්වන ලද දේශපාලන ඉල්ලීම් ඉටු කිරීම වෙනුවෙන් ඔබ අදහස් කරන ක්‍රියාමාර්ග හා එහි මාර්ග සිතියම රට හමුවේ තැබීම අත්‍යවශ්‍යය.”

උපුටා ගැනීම අවසන්.

ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂණයට පහර දුන් පොදුජන පෙරමුණ පක්ෂයේ මැර දේශපාලන බලවතුන් නීතිය හමුවට පැමිණවීම සදහා අනුගමනය කරන ක්‍රියාමාර්ග, දේශපාලන නායකයින්ගේ ජිවිත හා දේපල විනාශ කිරීම් පිලිබදව ගන්නා ක්‍රියාමාර්ග සහ ජනාධිපතිවරයා තම ධූරයෙන් ඉවත් වන දින වකවානු පිළිබඳව සාකච්ඡා කර තිබේද? යන්න ඇතුළු ප්‍රශ්න ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එම ලිපිය මගින් විමසා තිබෙනවා.