Friday, May 3, 2024

General line - 0115112241

රිමාන්ඩ් කළ සනත් නිශාන්ත, මිලාන්, ඩෑන් ඇතුළු පිරිසක් අධිකරණය හමුවට




කොල්ලුපිටිය සහ ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිස් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. කලහකාරී සිද්ධියට අදාළ හදුනා ගැනීමේ පෙරට්ටුව පළමුව පැවැත්වීමට නියමිත අතර එය අවසන්වීමෙන් අනතුරුව නඩුව කැදවීමට නියමිත බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඉකුත් 18 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්. මන්ත්‍රීවරුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඉකුත් 9 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර අරගල භූමියට එල්ල කළ ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල පිරිසක් අද විරෝධතාවයේ නිරත වු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

ඉකුත් 9 වනදා කොල්ලුපිටිය, ගාලුමුවදොර අරගල භූමිය සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ සිද්ධීන්ට අදාලව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,708 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ එම පිරිසෙන් සැකකරුවන් 751 දෙනෙකු මේ වනවිටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

මේ අතර ගාලුමුවදොර අරගල භූමිය 47 වන දිනටත් අද ක්‍රියාත්මකයි. අරගලයේ නිරත සිය පිරිසකගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවත් ඊට අදාළ ලිපිලේඛන ලබාදෙන ලෙස බල කරමින් පොලිස් නිලධාරීන් සිය නිවෙස්වලට පැමිණෙන බවත් සිවිල් ක්‍රියාකාරී ලහිරු වීරසේකර පවසනවා. ඒ, එම අරගල භූමියේ පැවති මාධ්‍ය හමුවකදීයි.

රංගන ශිල්පී ජගත් මනුවරණද එහිදී අදහස් පළ කළා.

අරලියගහ මන්දිරය ඉදිරිපිට නෝ ඩීල් ගමද විරෝධතාවද තවදුරටත් ක්‍රියාත්මකයි.