Friday, May 3, 2024

General line - 0115112241

ජොන්ස්ටන්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළිත් නඩු




හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු 05 ක් ගොනු කළා. ඒ, අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් සිය නිත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 04කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින්. 

මෙම චෝදනා සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු ගොනු කළා. එහෙත් එම නඩු සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් ලිඛිත අනුමැතිය හිමිවී නොමැති බවට විත්ති පාර්ශවය විසින් මතුකළ මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව එම කොමිසම විසින් අදාළ චෝදනා ඉල්ලා අස්කර ගැනීමට පියවර ගත්තා.  

මෙම නඩුවල සෙසු විත්තිකරුවන් ලෙස සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ශාකීර් යන අය නම් කර තිබෙනවා. ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් එම චෝදනාවලින් නිදහස් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා. 

ඉන් අනතුරුවයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද යළි මෙම අධි චෝදනා පත්‍ර ගොනුකර තිබෙන්නේ.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් සිය නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු ගොනු කර තිබෙනවා.