Friday, May 3, 2024

General line - 0115112241

අටලුගම දැරියගේ ඝාතනයේ සැකකරු පොලිසියට සිදුකළ පාපොච්චාරණයෙන් තොරතුරු හෙළිවෙයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ




බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 09 හැවිරිදි ෆාතිමා අයීෂා දැරියගේ මරණය ඝාතනයක් බව අද අනාවරණ වුණා. ඒ, එම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සිදුකළ පාපොච්චාරණයක් අනුවයි. 

පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ දැරිය අතුරුදන් වූ බවට ප්‍රකාශ වූ දිනයේ වෙළදසැලක් වෙත යමින් සිටි එම දැරිය අටලුගම ප්‍රදේශයේ එළවළු කොටුවක් ආසන්නයට තමන් කැදවා ගෙන ගිය බවයි. එහිදී දැරියට අතවරයක් කිරීමට තමන් උත්සාහ කළද දැරියගේ දැඩි අකමැත්ත හා විරෝධය හේතුවෙන් අතවරයක් සිදු කිරීමට නොහැකි වූ බවද සැකකරු ප්‍රකාශ කර තිබෙනවා. 

දැරිය ඝාතනය කිරීමට තමන් පෙළඹුනේ එම සිද්ධිය යම් ආකාරයකින් හෙළි වේ යැයි යන බිය නිසා බවත් අදාල ස්ථානයේ වතුර වලක ඔබා දැරිය ඝාතනය කළ බවටත් ඔහු පාපොච්චාරණය කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

ඝාතනය සිදුකළ සැකකරු 29 හැවිරිදි වියේ පසුවන මියගිය දැරියගේ නිවස ආසන්නයේ පදිංචි තිදරු පියෙක්. ඔහු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයෙකු බවද හෙළි වී තිබෙනවා. ඝාතනයට පෙර දිනයේ ද සැකකරු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර තිබූ බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරුගේ දරුවන් සහ මියගිය දැරිය එකට එක්ව සෙල්ලම් කළ දරුවන් බවද පොලීසිය පැවසුවා. 

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ගේ උපදෙස් පරිදි  පානදුර දිසා අපරාධ කොට්ඨාසය, කළුතර දිසා අපරාධ කොට්ඨාසය සහ බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ණශ සිදුකරනවා.    

මේ අතර අතුරුදන්ව මියගිය ෆාතිමා අයේෂා දැරියගේ මරණයට වගකිව යුතු වූ අපරාධකරු වෙනුවෙන් පානදුර නීතිඥ සංගමයේ කිසිදු නීතිඥවරයෙක් ඉදිරිපත් නොවන බව එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පවසනවා. 

අටුලුගම එම දැරියගේ නිවසට පැමිණ ඥාතීන්ට සිය ශෝකය පළ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. එමෙන්ම මියගිය දරුවාගේ අයිතිවාසිකම් හා පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට  යුක්තිය ඉටු කිරිම සඳහා පානදුර නීතීඥ සංගමය කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.