Monday, May 13, 2024

General line - 0115112241

හිටපු මහ බැංකු අධිපති ඇප මත මුදාහැරේ




හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද  නියෝග කළා.

තීනියාවල පාලිත හිමියන් විසින් ගොනුකළ පුද්ගලික පැමිණිල්ලක් අද යළි කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ සිතාසියක් මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අධිකරණය හමුවේ පෙනී සිටියා.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙස පැමිණිලිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් අයැද සිටියා.

එම ඉල්ලීමට ඉඩ දුන් මහේස්ත්‍රාත්වරයා අදාල සංශෝධිත පැමිණිල්ල ලබන අගෝස්තු 23 වැනිදා ගොනු කරන ලෙස පැමිණිලිකාර පාර්ශවයට නියෝග කළා. 

ඒකපාර්ශිකව සිදු කළ කරුණු සලකා බැලීමකින් පසු හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් ද සිදු කළා. 

2006 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ප්‍රවර්ධනය කිරීමට යැයි සඳහන් කරමින් ඇමරිකානු  ජාතික ඉමාඩ් සුබේරි යන අයට ගෙවීම තුළින් රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා 

පැමිණිල්ල යළී සලකා බැලීම අගෝස්තු මස 23 වැනිදාට කල් තැබුණා.